විගමනික ශ්‍රමිකයන්ට නිරෝධායන නීති ලිහිල් කෙරේ.

0
41

කොවිඩ්-19 අර්බුදය හමුවේ වුවද අදාළ රටවල් ලාංකික ශ්‍රමිකයන්ට වීසා ලබා දීමට සූදානම් නම් එම රටට යෝග්‍ය එන්නත ලබා දීමෙන් අනතුරුව ඔවුන් රැකියා සඳහා යොමු කිරීමට සිය අමාත්‍යංශය සූදානමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කළේය.

ඒ විගමනික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට දීර්ඝ පිළිතුරක් සපයමිනි.

කොරියාව සහ ජපානය වැනි රටවලට රැකියා සදහා යොමුවීමේ අවශ්‍යතාවය පැවතියද කොවිඩි -19 අර්බුදය හමුවේ විගමනික ශ්‍රමිකයන්ට වීසා ලබා නොදීම සහ ගුවන් තොටුපළ සීමා සම්බන්ධව අදාළ රටවල් ගෙන ඇති තීරණය හමුවේ ලාංකිකයන් රැසක් රැකියා සදහා යොමුවීමට නොහැකිව සිටින බව ද මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලය වැනි රටවලටද පොදු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විවිධ හිරිහැර වලට ලක් වුණු , සේවා කාලය අවසන් වුණු සහ නියමිත පරිදි වැටුප් නොලැබුණු ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ශ්‍රමිකයින්ට රැකවරණය සහ ආරක්ෂාව සලසා දීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රටවල් 8 ක පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක එනම්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය ,අබුඩාබි සහ ඩුබායි ,සෞදි අරාබියේ රියාද් සහ ජෙඩා,ජෝර්දානය කුවේට් ලෙබනන් ඕමානය සයිප්‍රස් සහ කටාර් හි සුරක්ෂා නිවාස පවත්වාගෙන යන බව අද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සඳහන් කෙරිණි .

මෙම සුරක්ෂා නිවාස වල සාමාන්‍ය තත්ව යටතේ ඇති ඉඩකඩ ප්‍රමාණවත් වුවද කොවිඩ් -19 අර්බුදය හමුවේ ඉඩකඩ ප්‍රමාණවත් නොවූ අවස්ථාවන්හිදී ඕමානය,සයිප්‍රස් හා කුවේට් වෙත තාවකාලික නිවාස පහසුකම් සැලසීමට අමතර මුදල් ප්‍රතිපාදන සැලසීමට ද කටයුතු කර ඇතැයි එම සුරක්ෂා නිවාස වල තත්ත්වය පිළිබඳව ප්‍රශ්නයක් විමසූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතාට පිළිතුරු ලබාදෙමින් ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය .

අමාත්‍යවරයාට අනුව, ආරක්ෂාව සහ රැකවරණය පතා සුරක්ෂා නිවාසයන්හි ගෘහ සේවිකාවන් සංඛ්‍යාව 03.01 දින වන විට157 ක්, 06.15 වන විට 122 ක් ද අතර මේ වන විට 69 ක් ද වේ. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම දත්ත විශ්ලේෂණය කර බලන විට ,එක් එක් රටවල පවත්නා තත්ත්වයන් සහ ශ්‍රී ලංකා රජය විසින් ගනු ලබන විවිධ පියවර හේතුවෙන් මෙම සුරක්ෂා නිවාසවල රැඳී සිටින ප්‍රමාණය සංඛ්‍යාත්මකව ක්‍රමිකව අඩුවීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වන බවයි.

මෙම විගමනික ශ්‍රමිකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගනු ලබන්නේ කොවිඩ් -19 නිවාරණය කිරීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා විදේශ අමාත්‍යාංශය ,විදේශ දූත මණ්ඩල මෙන්ම ,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද අවශ්‍ය දායකත්වය සපයන බව විස්තරාත්මකව පාර්ලිමේන්තුවට දන්වා සිටියේය .

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා සදහන් කරන ආකාරයට විගමනික ශ්‍රමිකයන්ගේ ආගමන සහ විගමන පිළිබඳව තීරණ ගත නොහැකි බව පෙන්වාදුන් අමාත්‍යවරයා ඊට අදාළ රටවල අනුමැතිය ද වැදගත් බව පෙන්වා දුන්නේය.

නිරෝධායනයට ලක්වන විගමනික ශ්‍රමිකයන් සදහා විදේශ සේවා කාර්‍යංශය විසින් නොමිලේ හෝටල් පහසුකම් සලසන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එසේම,නිරෝධායන නීති ලිහිල්කරණය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා වෙනමම නිශ්චිත ප්‍රශ්නයක් යොමු කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here