කොරෝනා කිට් හිඟයක් : තුන්වන රැල්ලක් ආවොත් දොස්තරලාත් ජනතාවත් අනතුරේ !

0
40

මේ වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු ලංකාවේ සියලුම රෝහල් සඳහා සහ කොරෝනා රෝගීන් වෙනුවෙන්ම වෙන් කළ අයි ඩී එච් රෝහල ඇතුළු ලංකාවේ අනෙකුත් රෝහල්  වල වෛද්‍යවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය භාවිතයට ගන්නා කොරෝනා ඇඳුම් කට්ටල වල දැඩි හිඟයක් පවතින බව වාර්තා වෙයි.

 ඇතැම් රෝහල් වල කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩල  භාවිතයට ගන්නා මෙකී ඇඳුම් කට්ටල  සියල්ල අවසන් වී ඇති බව වාර්තාවෙයි.
එසේම විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට වසංගත සමයක් නිසා පමණක් නොව කොහොමටත් මෙකී ආයිත්තම් රෝහල් කාර්ය මණ්ඩල වෙත පැවරීමේ වගකීම ඇත්තේ වෛද්‍ය සැපයුම් ඒකකය වෙත වුවත් එය අදාළ කොරෝනා ආරක්‍ෂිත නිල ඇඳුම් නිසි ලෙස සැපයීම් නොකිරීම හේතුවෙන් මෙකී අන්තරාදායක දුෂ්කරතාව මතුව ඇත.
වඩාත් ඛේදජනක තත්ත්වය වන්නේ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැති රැස්වීමේදී විෂයභාර අමාත්‍ය චන්න ජයසුමන මෙම කොරෝනා ඇඳුම් කට්ටල හැකි ඉක්මනින් ලබාගැනීමට  කටයුතු කරන ලෙස දන්වා තිබුණද කොරෝනා ඇඳුම් කට්ටල සැපයුම් භාරව සිටින ප්‍රධාන නිලධාරිනියක එම කටයුත්ත අත්තනෝමතික ලෙස නොසළකා සිටින බවද වාර්තා වීමය.
මේ ආකාරයට කොරෝනා රෝගීන් පරීක්ෂා කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩල  භාවිතයට ගන්නා මෙකී ඇඳුම් කට්ටල සැපයීම අඩපණවීම පිටුපස ටෙන්ඩර් වලියක්ද ඇති බවත් වාර්තා වන අතර මේ වන විට සිදුවෙමින් ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටිය යතතේ ලබාදුන් ටෙන්ඩරය අදාල සැපයුම්කරු ගෙන් ලබා නොගැනීමට කොරෝනා ඇඳුම් කට්ටල සැපයුම් භාරව සිටින ප්‍රධාන නිලධාරිනිය කටයුතු කරමින් සිටින බවය.
තතුදත් ආරංචි මාර්ග පවසන්නේ තම හිතවතකුට ඉහත ටෙන්ඩරය නොලැබීම හේතුවෙන් එම නිලධාරිනිය “හිතුමතේ වැඩ” කලාවට යොමුව ඇති බවය.
මේ වන විට එම නිලධාරිනියගේ වත්කම් සම්බන්ධවද විවිධ පාර්ශව චෝදනා එල්ල කරන්නට ගෙන ඇත.
රෝගීන් බිල්ලට ගනිමින් හා වෛද්‍යවරුන් අපහසුතාවයට ලක් කරමින් සියල්ලටම වඩා ගෝලීය වසංගත සමයක   කරනු ලබන මෙම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි නමුත් ඊට හවුල් වන සහකාර අධ්‍යක්ෂක වරයෙකු ගැනත් තොරතුරු වාර්තා වෙයි. එම සහකාර අධ්‍යක්ෂවරයා මේ වන විට සිය ධූරයට එහා ගොස්  අදාල සැපයුම්කරු ගෙන් ඉහත ටෙන්ඩරය කිසිසේත් ලබා නොගන්නා බව ප්‍රසිද්ධියේ  වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ඉදිරියෙහි පවසා ඇති බවත් වාර්තා වෙයි.
සැපයුම්කරුවන් වෙනුවෙන් රෝගී ජීවිත මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල ජීවිත හෙට්ටු තබන මේ උදවිය ගැනත් කතා එමටය. ආවාට ගියාට ඒවා පළකිරීම අපේ හැටි නොවුණත් මේ කාගේ කාගෙනුත් අහන්න ප්‍රශ්න කිහිපයක් ඇත.
1. සැපයුම්කරුවන් තෝරාගන්න මාරාන්තිකව වෙහෙසෙන අතරේ වැලිසර පිහිටි වෛද්‍ය සැපයුම් අංශයේ  ඉඩමෙහි වැට ඉදිකිරීමට ලක්ෂ 60ක් එහා මෙහා වෙලාද කියා සෙව්වොත් නරකද ?
02. වැලිසර පිහිටි වෛද්‍ය සැපයුම් අංශයෙහි ඉඩමේහි ඉදිකළ මිලියන අසූවක් පමණ වටිනා ගබඩාවක් මේ වන විටත් විටත් ගිලා ගිලා බසිමින් පවතී. එය දැනට භාවිතයෙන් ඉවත් කර ඇත. එය කාගේ අධීක්ෂණය යටතේ ඉදිකරනු ලැබුවක්ද ?03. විදෙස් රටවලින් වෛද්‍ය සැපයුම් අංශයට ත්‍යාග වශයෙන් ලද පරිත්‍යාගයන් කිසියම් පාර්ශවයක් තමන් සතු කරගෙන සිටින බවත් ඒ   බොහොමයක් අස්ථානගත වී ඇතැයි කියන්නේ කවුද ? මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් දැනටමත් සිදු වෙමින් පවතිනවාද ?

තව ප්‍රශ්න ඇතත් අපි ඒවා ඇසීම පසෙක තබා සෞඛ්‍ය බලධාරීන් අමතමු. සෞඛ්‍ය බලධාරිනි, මෙවන් අක්‍රමිකතා රැසක් සිදුවන විට නොදන්නා සේ සිටින, මහජන මුදලින් යැපෙන මෙවන් නිලධාරීන්, අලුත් අවුරුද්දෙන් පසු කොරොනා තුන්වන රැල්ලක් අබියස  සිටින අසරණ මිනිසුන් බිල්ලට තබා තම හිතවත් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටිමින්  කරනු ලබන මේ අමානුෂික වැඩේ ගැන කඩිනමින් සොයා බැලුවොත් නරකද ? නිලධාරීන් කිහිපදෙනෙකුගේ පෞද්ගලික ඕන එපාකම් මත මෙරට කොවිඩ් මර්දන වැඩපිළිවෙල තවදුරටත් අර්බුදයට යවන්න ඉඩදෙනවාද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here