විදෙස්ගත ශ්‍රී ලාංකියන් මව්බිමට ගෙන්වීම වෙනුවෙන් ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල

0
26

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විමසන ලද ප්‍රශ්න සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පිළිතුරු  ප්‍රකාශය

  1. විදෙස්ගත ශ්‍රී ලාංකියන් මව්බිමට ගෙන්වීම වෙනුවෙන් ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙල කුමක්ද? ඒ සඳහා වන කාල රාමුව කවරේද?

2019 පෙබරවාරි මාසයේදී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනෙකු මෙරටට රැගෙන ආ දිනයේ සිට ශ්‍රී ලංකා රජය මේ දක්වා විදේශයන්හි අසරණ වූ විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටි ශ්‍රී ලාංකිකයින් 61,750 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. එසේම, තවත් රටවල් 137ක වෙසෙන ශ්‍රී ලාංකිකයින්  69,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇත. එම පිරිස් අතුරින් රටවල් 15 සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 41,452 ක් ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇත (ඇමුණුම –

01).ඒ අනුව, විදේශ අමාත්‍යාංශය සහ අප අමාත්‍යාංශය විසින් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හා එම දුත මණ්ඩලයන්හි ස්ථාපිත කර ඇති කම්කරු අංශ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා එක්ව මව්බිමට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකිකයන්ගේ දත්ත එක්රැස් කිරීම සිදු කරන ලදි. ඒ අනුව, මෙරටට පැමිණීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කර ගැනීමෙන් අනතුරුව එම දත්ත විශ්ලේෂණය කොට ගෝලීය වසංගත තත්ත්වය හමුවේ එම ශ්‍රමිකයින් පත්ව සිටින තත්ත්වය සලකා බලා අවධානමකට ලක් වීමට වැඩි ඉඩක් ඇති අය ප්‍රමුඛතාව අනුව ලැයිස්තුවක් පිළියෙල කර ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමට ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ විදේශ අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කරන ලදි. මෙහිදී, නියමිත කාල සටහනකට අනුව පැමිණෙන ගුවන් යානා (Scheduled Flights), භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා (Cargo Flights), ශ්‍රමිකයින් සේවය කරන රටවලින් නොමිලේ ලබා දෙන ගුවන් යානා  (Mercy Flights) හා මෙම කටයුත්ත සඳහා කුලී පදනමින් ලබා ගත් ගුවන් යානා (Charter Flights) ආදි ගුවන් ගමන් යනාදී  ක්‍රම භාවිතා කරමින් විධිමත් ක්‍රමවේදයක් යටතේ ඔවුනට මෙරටට ගෙන්වා ගැනීමට පහසුකම් සැලසීම මූලිකව සිදු කෙරිණි. තවද, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම ප්‍රධාන ක්‍රමවේද දෙකකට අනුව සිදු කෙරේ.

අ.රජය විසින් සංවිධානය කර පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් රැගෙන එන ගුවන් යානා

මෙම ගුවන් යානා මගින් එකවර ශ්‍රී ලාංකිකයින් 275-300 අතර ප්‍රමාණයක් රැගෙන එනු ලබයි. මෙම ගුවන් යානා දිනක් හැර දිනක් ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒම සිදු කළ අතර 2021.01.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි සතියේ දින 05ක් තුල සෑම දිනක් තුල එක් ගුවන් යානයක් මගින් විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන එන ලබන මගීන් ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂිතයි.

ආ.දෛනික ගුවන් කාල සටහනකට අනුව ලංකාවට පැමිණෙන ගුවන් යානා

දෛනිකව ශ්‍රී ලංකාවට ගුවන් කාල සටහනකට අනුව පැමිණෙන ගුවන් යානා මගින්ද විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වනු ලැබේ. එමගින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමට සිදුවීම හේතුවෙන් ගෙන්වා ගත හැකි ගුවන් මගීන් ගණන 2021 ජනවාරි 04 වන විට 50 දක්වා සීමා වූ අතර 2021 ජනවාරි 05 දින සිට එම ප්‍රමාණය 75 දක්වා වැඩි කරනු ලැබීය. මෙසේ ගුවන් කාල සටහනකට අනුව එන ගුවන් යානා වලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ස්ව කැමැත්තෙන් හොටල් තුල මුදල් ගෙවා නිරෝධානයනට යොමු වන අයයි. මේ වන විට ගුවන් කාල සටහන අනුව දෛනිකව පැමිණෙන ගුවන් යානා සංඛ්‍යාව 10 පමණ වන අතර ඒ අනුව දෛනිකව ශ්‍රී ලාංකිකයින් 750ක් පමණ මෙරටට පැමිණේ. එ අතුරින් කටාර්, එමිරේට්, එතිහාඩ් ගුවන් සේවා දෛනිකව මැදපෙරදිග රටවල සිට ශ්‍රී ලංකාවට ගුවන් වාර පවත්වයි.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ රට තුල වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන, එම තත්ත්ව පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ, එන්නත් පහසුකම් ලබා ගැනීමේ හැකියාව, කොවිඩ් මර්දනය සඳහා විදේශ රටවල පවතින ක්‍රමවේද/ එන්නත්කරණය, විදේශ රටවල කොවිඩ් මර්දන රාජ්‍ය ප්‍රතිපත්ති හා ආගමන විගමන රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී මතුවන ගැටළු හා ගුවන් කලාප වසා දැමීම ආදී විවිධ සාධක මත විචලනය වන බැවින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව ප්‍රකාශ කරමි.

එසේ වූවත්, පවතින දුෂ්කරතා හා අභියෝග මධ්‍යයේ වුවද අවශ්‍ය පිළියම් යොදමින් ඉතා කඩිනමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා රජය අවශ්‍ය සුදුසු කාලීන ක්‍රියාමාර්ග අඛණ්ඩව ගනිමින් පවතී.

2.අසරණභාවයට පත්ව සිටින්නවුන්ට සහනදායි මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් ලබා දිය නොහැකිද?

පහත සඳහන් හේතූන් කරුණු කොට ගෙන ගුවන් ටිකට් පත්හි මිල පෙර වසරට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කරමි.

  1. විදේශ ගමන් තහනම් කිරීම් හා ගුවන් තොටුපල වල පවතින සීමා කිරීම් හේතුවෙන් ගුවන් යානා වල ගෙන යන මගීන් ප්‍රමාණය අවම සීමාවක් පනවා ඇති බැවින් ගුවන් සේවා වලට ඉහළ මිලක් අය කර ගැනීමට සිදුවී ඇත.
  1. ගුවන් යානාවන්හි භාණ්ඩ හා මගී ප්‍රවාහනය අපේක්ෂිත මට්ටමට ගෙන ඒමට ඇති නොහැකියාව හේතුවෙන් හා ගෙන යා හැකි මගීන් ප්‍රමාණය ඇතුළු බර තුලනය කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් පනවන ලද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් යටතේ විදේශ ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට වැඩි මුදලක් අය කර ගැනීමට සිදු වීම.
  1. ගුවන් සේවාවන්වල සේවය කරන කාර්ය මණ්ඩල අනිවාර්යය නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමේ අවශ්‍යතාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව නියමිත ප්‍රමිතීන් පවත්වාගෙන යාමට සිදුවීම හා සීමිත ගුවන් ගමන් හේතුකොට ගෙන කාර්ය මණ්ඩල දීර්ඝ කාලයක් අතරමැද විදේශ නැවතුම් ස්ථානයන්හි රඳවා ගැනීමට අතිරේක වැය බරක් දැරීමට සිදු වීම හේතුවෙන් ගුවන් ටිකට් පත්වල මිල ඉහළ යාම
  2. කොවිඩ් වසංගතයට පෙර ගුවන් සමාගම් අතර පැවති තරඟකාරීත්වය හා ගුවන් යානාවන්හි වැඩි ධාරිතාවයක් තිබීම හේතුවෙන් අවම මිලකට ගුවන් ටිකට් පත් නිකුත් කළ හැකි වුවද මෙහිදී එවැනි තත්වයක් ඇති නොවීම
  1. 2020 අප්‍රේල් සිට දෙසැම්බර් කාල පරිච්ඡේදය හා සසඳන කළ කොවිඩ් වසංගතයට පෙර තිබූ ප්‍රවර්ධනය හා වට්ටම් සහිත ගුවන් ටිකට් පත් ලබා දීමට නොහැකි වීම

එසේ වුවද, ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකා ගුවන් සේවය හා එක්ව පවත්නා අභියෝග හා ගුවන් ගමන් සීමා කිරීම් යටතේ විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්හට කොවිඩ් වසංගත තත්වය යටතේ වුවද සහනදායී මිල ගණන යටතේ ගුවන් ටිකට් පත් ලබා දීමට හැකි සෑම විටම පියවර ගෙන ඇත. කොවිඩ් වසංගතයට පෙර හා පසු සමගාමී   කාල පරිච්ඡේද වල ගුවන් ප්‍රවේශපත්‍ර මිල ගණන් පිළිබඳ සැසඳීමක් ඇමුණුම – 02 හි දැක්වේ.

  1. නිරෝධායනය වීම සඳහා මිල අධික හෝටල් ලබා ගත යුතු බව පවසා ඇති කොන්දේසි ඉවත් කර සහන ගාස්තුවකට හෝ රජයේ වියදමින් එම කටයුතු කිරීමට පියවර ගනු ලබන්නේද?

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රි ලාංකියකන්ගෙන් අනිවාර්ය නිරෝධායන කාල සීමාව (දින 14) කි. එනමුත්, ගෙවීම් කර නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින කිසිදු ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර නොමැත.

එබැවින්, රජය මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් පවත්වාගෙන යනු ලබන අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන් මෙම මධ්‍යස්ථාන තුල නිරෝධායනය කරනු ලැබේ. එසේම, දැනට හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වල සම්පූර්ණ ධාරිතාව 5000 – 6000ක් පමණ වේ.

රජයේ සෞඛ්‍ය අංශයේ ප්‍රතිකාර ධාරිතාව වැඩි කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන 20ක් පමණ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් 2020 නොවැම්බර් මාසයේ සිට පරිවර්තනය කරනු ලැබීය. එසේම රජයේ නිරෝධානයන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන ගිය රජයේ ගොඩනැගිලි, විශ්ව විද්‍යාල ගොඩනැගිලි නැවත භාරදීමේ අවශ්‍යතාවක් 2020 ජූලි / අගෝස්තු මාසයන් වන විට ඇති වූ අතර එමගින්ද නිරෝධායන මධ්‍යස්ථාන ධාරිතාවට බලපෑමක් සිදුවිය. දැනට රජය මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන සියල්ලක්ම හමුදා කඳවුරු සහ හමුදා දේපල වන අතර මෙයින් 90% ක ප්‍රමාණයක් ශ්‍රී ලංකා යුධ හමුදාවට අයත්වේ.

මුදල් ගෙවීම මත නිරෝධායනය සඳහා හෝටල් තෝරා ගැනීමේදී කාමර සංඛ්‍යාව 100 හෝ හෝටල් සමූහය තුල කාමර සංඛ්‍යාව 100ක් පවතින හෝටල් ඒ සඳහා තෝරා ගන්නා අතර එම හෝටල් වල ආරක්ෂාව, අධීක්ෂණය, හා නිරෝධායන ක්‍රමවේද තහවුරු කර තිබිය යුතුයි.

ඒ අනුව, දැනට සංචාරක හෝටල් 45ක් තුල මුදල් ගෙවීමේ ක්‍රමවේදයකට අනුව නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලැබේ. මෙහිදී, රජය විසින් අනුමත කර ඇති දෛනික අය කිරීම් පහත පරිදි වේ.

අ. තනි පුද්ගලයෙකු තනි කාමරයක් ලබා ගන්නා විට – රු. 12,500.00

ආ. පුද්ගලයන් දෙදෙනෙකු ද්විත්ව කාමර පහසුකම් ලබා ගන්නා විට එක් අයෙකු හට රු.7,500.00

මෙම අයකිරීම් හෝටලය මගින් ලබා දිය යුතු සියළුම පහසුකම් (නිරෝධානයන රෙගුලාසි වලට අනුව) සඳහා වන අතර කිසිම අමතර අයකිරීමක් සිදු කල නොහැකිය.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයින් සඳහා බල කිරීමකින් තොරව නොමිලේ අදාල පහසුකම් රජය විසින් ලබා දී ඇත.

  1. මෙම පිරිසට සහන සැලසීම සඳහා කුවේට් වන්දි අරමුදල සහ විදෙස් ශ්‍රමික රක්ෂණ අරමුදල් භාවිත කළ නොහැකිද?

මෙම සහන සැලසීම් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විටත් ඉටුකරමින් පවතින අතර, ඉදිරියේදීද අවශ්‍යතාවය පරිදි කටයුතු කරනු ලැබේ.

එමෙන්ම විදෙස් ශ්‍රමික රක්ෂණ අරමුදල් මේ සඳහා භාවිතා කිරීමට අවකාශ නොමැත. එයට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ එකී රක්ෂණ ආවරණය විදෙස් ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය (Health Insurance) පිළිබඳව ලබා ගන්නා ලද්දක් බැවින් හා නිශ්චිත කාර්යයක් සඳහා එම රක්ෂණ ආවරණ ලබාදී ඇති බැවින් මෙම වසංගත තත්ත්වය එයින් ආවරණය නොවේ. එසේ වුවද, එම රෝගී තත්ත්වයන්ද රක්ෂණ ආවරණය සඳහා ඇතුලත් කිරීමේ හැකියාව පිළිබඳ අදාල රක්ෂණ සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එසේ වුවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුවේට් කටාර් ඕමාන් යන රටවලන් පැමිණි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 147 දෙනෙකු වෙනුවෙන් එක් අයෙකුට දින 14 බැගින් වන නිරෝධානය කාලය වෙනුවෙන් (දිනකට රු.10,500.00 ක් බැගින්) රු. 15,435,000.00 වැය කර ඇත. PCR පරීක්ෂණ සඳහා රු. 285,000.00 මුදලක් හා කුවේට්හි ආරක්ෂිත නිවස්න (Safe House) වල රැඳී සිටි 112 ශ්‍රමිකයින් දෙනෙකු වෙනුවෙන් ගුවන් ටිකට් පතක් ලබා දීමට කාර්යාංශය අනුමැතිය ලබා දී ඇති අතර එක් ගුවන් ටිකට් පතක් සඳහා කුවේට් ඩිනාර් 165ක මුදලක් (රු.102,276.90) ද PCR පරීක්ෂණයක් සඳහා එක් අයෙකුට කුවේට් ඩිනාර් 40 (රු. 24,794.4)  බැගින් වියදම් දැරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අය අතුරින් 36 දෙනෙකු දැනට ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඊට අතිරේකව නොමිලේ නිරෝධායන පහසුකම් ලබා දීම් වැඩි කිරීම, PCR සිදු කරන ප්‍රමාණය වැඩි කිරීම සහ ප්‍රවාහන පහසුකම් සැපයීම සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමඟ සහයොගයෙන් ශ්‍රමිකයින්ගේ ගුවන් ගමන් ගාස්තු අඩු කර ගැනීමටද කටයුතු සිදු කරමින් පවතී (ඇමුණුම – 03).

  1. මැද පෙරදිග කලාපයේ ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණෙන තෙක් සහන සැලසීමට ගනු ලැබ ඇති පියවර කරරේද?

මැදපෙරදිග කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතුරින් 2020.12.30 දින වන විට  ශ්‍රමිකයින් 3,923ක් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර  3,834 ක ප්‍රමාණයක් සුවය ලබා ඇත. එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ශ්‍රමිකයින් 89 දෙනෙකු මරණයට පත් වී ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඇති වී ඇති විවිධ ගැටළු හේතුවෙන් මැද පෙරදිග කලාපයේ සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 31,102ක ප්‍රමාණයක් මේ වන විට දිවයිනට පැමිණ ඇත. (ඇමුණුම – 04).

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට ක්ෂණික සහන සැලසීමේ පියවරක් ලෙස විදේශ අමාත්‍යාංශය විසින් ඩුබායි සහ දෝහා වෙත වියළි සලාක සහ දේශීය ඖෂධ පැකට් 10,000 කට අධික ප්‍රමාණයක් ගුවනින් යවා ඇත. තවද, මූලික ඖෂධ, වෛද්‍ය පරීක්ෂණ, තාවකාලික නවාතැන්, ආරක්ෂිත ආම්පන්න, අභ්‍යන්තර ප්‍රවාහනය, සුභසාධන කටයුතු සහ ඇතැම් විශේෂ අවස්ථා වලදී ගුවන් ටිකට්පත් සැපයීම ආදී කටයුතු සඳහාද විදේශ අමාත්‍යාංශය  සහන සලසා ඇත. ඒ අනුව, දැනට රුපියල් මිලියන 82ක මුදලක් වැය කොට ඇත. එසේම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින්ද විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා ආහාර පාන, වෛද්‍ය පහසුකම්, නවාතැන් පහසුකම් වැනි සහන ලබා දීම සඳහා රුපියල් මිලියන 12ක් පමණ වැය කොට ඇත. තවද, විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ පවත්වාගෙන යනු ලබන සුභසාධක මධ්‍යස්ථාන මගින් නිරෝධායනයට ලක් වන ශ්‍රමිකයින් සඳහා හෝටල් ගාස්තු ගෙවීම, PCR පරීක්ෂණ සඳහා ගෙවීම් සිදු කිරීම සහ විවිධ ආයතන සම්බන්ධීකරණය කරගනිමින් ගුවන් ටිකට් පත් සහන මිලට ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා නොමිලේ ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කර ඇත.

තවද, විශේෂ හදිසි ඇමතුම් අංක හඳුන්වා දීමත්, විදේශ රාජ්‍යයන් සමඟ සාකච්ඡා කොට වීසා කල් ඉකුත්වීම් වලදී දඩ ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කර ගැනීමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පහසුකම් සැපසීම, නිසි පරිදි වැටුප් ගෙවීම පැහැර හරින ලද හාම්පුතුන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ වැටුප් ලබා දීමටත්, එකඟ නොවන අවස්ථාවලදී අවශ්‍ය නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මැදිහත්වීම ශ්‍රී ලංකා රජය අඛණ්ඩව සිදු කරමින් පවතී. එසේම, අන්තර්ජාතික කම්කරු සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් සඳහා වූ සංවිධානය මෙන්ම, දේශීය හා විදේශීය පුණ්‍යායතන සමඟ සම්බන්ධ වෙමින් අසරණභාවට පත් ශ්‍රමිකයින්ට සහන සැලසීමටද පියවර ගෙන ඇත. තවදුරටත් මැද පෙරදිග කලාපයේ පිහිටි ශ්‍රී ලංකා දුත මණ්ඩල හරහා ඔවුන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here