පරිසර හානි මැඬීමට ආරක්ෂක අංශ සහ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක්

0
165

ශ්‍රී ලංකාව තුළ සිදුවන බව කියන  වනාන්තර සංහාරය  හා පරිසර හානි මැඬලීම සඳහා  වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ආරක්ෂක අංශවල සහයෝගය දැක්වීමට  රාජ්‍ය ආරක්ෂක  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය එකඟතාවය පළ කළේය.

සිදුවෙමින් පවතින පරිසර හානියට එරෙහිව, වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ  ආරක්ෂක අංශ අතර ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසා සිටියේය.

 පාර්ලිමේන්තුවේ පැවැති  ජාතික  ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය  උපදේශක කාරක සභාවේදී චමල් රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේ , වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සි.බී. රත්නායක මහතා  විසින් කළ ඉල්ලීමකට අනුවය. මෙම  කාරක සභාව සඳහා ගරු මන්ත්‍රීවරුන් තිහකට අධික සංඛ්‍යාවක් සහභාගීව සිටිනු දක්නට ලැබිණි.

මෙරට ශීඝ්‍රයෙන් සිදුවන ගස් කැපීම , වැලි ගොඩ දැමීම ,මැණික් හෑරිම මෙන්ම ගවයන් දිගේලි කිරීම ආදී  පාරිසරික ව්‍යසනයන්  සම්බන්ධව කටයුතු කිරීමට තමන්ට ඇත්තේ සීමිත කාර්ය මණ්ඩලය ක් බවද තවත් ප්‍රායෝගික  හේතූන් නිසා  වන සංරක්ෂණය සදහා ආරක්ෂක  හමුදාවන්ගේ සහයෝගය  ලබා දීමට හැකිනම්  එය මෙරට පාරිසරික සංරක්ෂණයට ඉමහත් පිටිවහලක් වන බවද වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කියා සිටියේ, ජනාධිපතිවරයාගේ නියෝගය අනුව සතියට තෙවතාවක් දිවයින ට ඉහළින් පියාසර කරන  ගුවන් හමුදාව ඩ්‍රෝන ජායාරූප මඟින්  ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින පරිසර හානිය දැනටම  නිරීක්ෂණය කරන බවයි . අමාත්‍ය  සී .බී. රත්නායක මහතාගේ ඉල්ලීමට අනුව පරිසරය රැක ගැනීමට  ආරක්ෂක හමුදාවන්ගේ  සහයෝගය ලබා දිය හැකි නමුත්  වනජීවී දෙපාර්තමේන්තුවෙන් ද ඊට සහාය දැක්විය  යුතු බව  ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය .

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සභාපතිත්වය දරන  මෙම අමාත්‍යාංශයේ උපදේශක සභාව   පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රීවරුන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වුණු අතර ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න  මහතා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ  නිලධාරීන්ද ,යුද හමුදාව,නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ  නිලධාරීන්ද  මේ සඳහා සහභාගි වූහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here