නව කථානායක මහින්ද යාපා

0
18

අභිනව  කථානායක මහින්ද යාපා අබේවර්ධන ………..

පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1945 වසරේ ඔක්තොම්බර් මස 10 වැනි දින මාතර මාකඳුර ප්‍රදේශයේ දී උපත ලද මහින්ද යාපා අබේවර්ධන මහතා වසර 30 කට වඩා අත්දැකීම් ඇති පරිණත දේශපාලනඥයෙකි. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මාතර රාහුල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ මහින්ද යාප අබේවර්ධන මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හිමිකරගෙන තිබේ. ඉන්දියාවේ චන්දිගාර් කළමනාකරණ ආයතනයේ කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ගැනීමට ද එතුමා සමත්ව තිබේ.

1983 වසරේදී හක්මණ ආසනයේ පැවති අතුරු මැතිවරණයෙන් ජය ලබා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන ඒ මහතා වසර 23 ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර තිබේ. 2020 මහ මැතිවරණය සඳහා මාතර දිස්ත්‍රීක්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  තරඟ කළ මහින්ද යාපා අබේවර්ධන මහතා මනාප ජන්ද 80 895 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසුණේය.

 

1993/94 කාල සීමාව තුළ දකුණු පළාත් සභාවේ සභාපති ලෙස කටයුතු කළ එතුමා 1994/2001 කාල සීමාව තුළ එම පළාත් සභාවේම ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ. සෞඛ්‍ය, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන්, වාරිමාර්ග හා ග්‍රාම සංවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු , පාර්ලිමේන්තු කටයුතු සහ කෘෂිකර්ම වැනි  අමාත්‍යධූර රැසක් ද එතුමා හොබවා ඇත.

 

1987 වසරේදී කෝප් කමිටුවේ සාමාජිකයෙකු ලෙසද එතුමා කටයුතු කර තිබේ. 2002 වසරේ දී චීනයේ බීජිං නුවර පැවැති සාමය සඳහා ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවටද සහභාගී වී ඇති මහින්ද යාපා අබේවර්ධන මහතා, බංගලාදේශයේ ඩකා අගනුවර පැවැති 50 වන C.P.A සමුළුවට ද , 2005 වසරේ ෆීජි නුවර පැවැති අන්තර්ජාතික පාර්ලිමේන්තු සම්මන්ත්‍රණයද  සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here