නවවන පාර්ලිමේන්තුව තරුණ වෙයි.

0
38

මහජන ‍ඡන්දයෙන් නවවන පාර්ලිමේන්තුව තරුණ වෙයි.

පාර්ලිමේන්තුව රටේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයයි. එසේ අනාගතයට බලපවත්නා පරිදි තීරණ ගැනීමේදී එවන් ආයතනයක තරුණ නියෝජනයක් දක්නට ලැබීම සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල්කරණය‍ට ඉවහල් වෙයි. ඒ සඳහා වන සාධනීය බලාපොරොත්තුවක් පාර්ලිමේන්තුව මඟින් මල්ඵල ගැන්වී තිබේ.

ලබන 20 වැනිදා ඇරඹෙන නවවන පාර්ලිමේන්තුවට වයස අවු. 25-40 ‍තෙක් මන්ත්‍රීවරු 26 ක් මහජන ඡන්දයෙන් පත්ව සිටින අතර, එයින් තරුණ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් වයස අවු 25-30 දක්වා වයස් කාණ්ඩයට අයත්ව සිටීම අතිශය ධනාත්මක තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. වෘත්තීමය වශයෙන් විවිධ අංශ නියෝජනය කරන අභිනව පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය ප්‍රතිශතාත්මකව ගත් කල 13% ක් වේ. මීට අමතරව, අවු.41-50 දක්වා වයස් කාණ්ඩයෙන් මන්ත්‍රීවරුන් 67 ක් මෙවර මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටිති.

මෙවර මහජන ජන්දයෙන් තේරී පත්වූ ළාබලතම මන්ත්‍රීවරයා වන්නේ වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් කුමාරවේල් තොණ්ඩමන් මහතාය. සිය පියාවූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවයෙන් පසු ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධූරයට පත්වූ හෙතෙම නීතිවේදියෙකි. 1994 නොවැම්බර් 09 දින උපන් ඔහු මෙවර අමාත්‍ය මණ්ඩලයේ සිටින ළාබාලතම අමාත්‍යවරයාද වේ. මීට පෙර පාර්ලිමේන්තු ඉතිහාසයෙහි නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලත් ළාබාලතම මන්ත්‍රීවරයාගේ වාර්තාවට හිමිකම් කියනුයේ දුමින්ද දිසානායක මහතා වන අතර එම ධූරය ලබන විට ඔහුගේ වයසද අවු.25ක් විණි.

වයස අවු.25-30 කාණ්ඩයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 05 දෙනා අතරින් දෙදෙනෙක්ම මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරති. එම මන්ත්‍රීවරයන් වන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සදාසිවමි වියාලේන්ද්‍රන් ( අවු.27) සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සානක්‍ය රාහුල් ( අවු. 30) ය. වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා අටවෙනි පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා කිහියකම සාමාජිකත්වයද දැරුවේය. මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන තිස් වියැති නිපුණ රණවක සහ ‍මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමෙින්තුවට තේරි පත්ව සිටින වෛද්‍ය ගයාෂාන් නවනන්ද යන මහත්වරුන් අනෙක් තරුණම මන්ත්‍රීවරුන් දෙපළ වෙති. මේ කාණ්ඩයට අයත් සියලු තරුණ මන්ත්‍රීවරයන් උපාධිධරයන් වීමද විශේෂත්වයකි.

මහජන ජන්දයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතර අවුරුදු 31-40 දක්වා වයස් කාණ්ඩය නියෝජනය කරන්නන් ගණන 21 ක් වන අතර , එයින් 09 ක් ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් වෙති. ඒ වයස් කාණ්ඩයේ සිටින , වාර කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර, මෙවර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙරට පත්වූ ළාබාලතම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාද වෙයි.

අවු.41-50 වයස් කාණ්ඩයෙන් මහජන ඡන්දයෙන් නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරයන් සංඛ්‍යාව 67ක් වන අතර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පැමිණෙන කාන්තා මන්ත්‍රීවරියන් දෙපළක් වන ගම්පහ නියෝජනය කරන කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය සහ කෑගල්ල නියෝජනය කරන රාජිකා වික්‍රමසිංහ මහත්මිය ද සිටිනුයේ මෙම කාණ්ඩය ඇතුළතය.

වයස අවු.51-60 කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාව 54 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගනී. සමඟි ජනබලවේගය පක්ෂයෙන් යළිත් පාර්ලිමේන්තු වරම් ලද, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් තේරි පත් වූ පක්ෂ නායක අනුර කුමාර දිසානායක, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, පාඨලී චම්පික රණවක, පලනි දිගම්බරන්, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් මෙම කාණ්ඩයට අයත් විවිධ දේශපාලන පක්ෂ වල ප්‍රමුඛ පෙළේ තනතුරු දරන අතර දීර්ඝකාලීන පාර්ලිමේන්තු පරිචයක් සහිත මන්ත්‍රීවරුද වෙති.

අභිනව පාර්ලිමේන්තුවේ අවු.61-70 වයස් කාණ්ඩය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ගණන 37 කි. 69 වියැති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම කාණ්ඩය නියෝජනය කරන දීර්ඝකාලීන අත්දැකීම්වලින් හෙබි පරිණත දේශපාලකයෙක් ලෙස හඳුන්වා දිය හැකිය.

අවු. 71-80 තෙක් වයස් කණ්ඩායම නියෝජනය කරන පරිණත මන්ත්‍රීවරයන් 09 ක් මෙරට පාර්ලිමේන්තුවේ කටයුතු කරති. ඔවුන් අතර වත්මන් අගමැති හා මුදල්, බුද්ධශාසන ,ආගමික, සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද සිටිත්. අවු.81-90 දක්වා වයස් කාණ්ඩයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් අතර යාපනය නියෝජනය කරන හිටපු උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ සී. වී. විග්නේෂ්වරන් මහතාද, රත්නපුර දිස්ත්‍රික්කයේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ ත්‍රිකුණාමලය නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වය දරන ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයාද වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here