අලුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12යි…

0
19
  • අලුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරියන් දොළහක්

    කාන්තා මන්ත්‍රිවරියන් දොළොස් දෙනෙක් 2020 අගෝස්තු 20 ඇරඹීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරති. එය ප්‍රතිශතාත්මකව ගත් කල 5.3% ක නියෝජනයක් වේ. මෙම කාන්තා මන්ත්‍රිවරියෝ වෘත්තීමය වශයෙන් විවිධ අංශ නියෝජනය කරති. එයින් වැඩිම වෘත්තිකයන් සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ නීතීඥ වෘත්තිය හා ගුරු වෘත්තියයි.

    ‍ඒ අනුව පාර්ලිමේන්තුවට තේරි පත්ව සිටින කාන්තා මන්ත්‍රීවරියන් අතර නීතිඥවරියන්ගේ හා ගුරුවරියන්ගේ ප්‍රතිශතය සමාන අගයක් ගන්නා අතර එය 25%ක් වේ. තේරිපත්ව සිටින කාන්තා මන්ත්‍රිවරියන් දෙදෙනෙක්ම විශේෂඥ‍ වෛද්‍යවරියන් වන අතර, එය ප්‍රතිශතාත්මකව 16% කි. ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ එක් කාන්තා මන්ත්‍රිවරියක් ආචාර්ය උපාධි හිමි කථිකාචාර්යවරියක් වන අතර, කලා ක්‍ෂේත්‍රයේ නිරත ව්‍යවසායිකාවකද, ගුවන් සේවික‍ාවක හා සමාජ සේවිකාවකද මෙම කාන්තා මන්ත්‍රිවරියන් දොළොස්දෙනා අතරට එක්ව සිටිති.

    මෙවර පා‍ර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රිවරියන් සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වන අතර, එම මන්ත්‍රිධූර සංඛ්‍යාව 08 කි. එම මන්ත්‍රිවරියන් අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මෙවරද අමාත්‍යධූරයන්හි දිවුරුම් දුන් සෞඛ්‍ය ඇමතිනී නීතීඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි (රත්නපුර), රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ (ගම්පහ) ද පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ (ගාල්ල) ද වෙති.

    ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේදි නියෝජනය කිරීමට නවක කාන්තා මන්ත්‍රිවරියෝ තිදෙනෙක්ද මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටිති. ඔවුන් රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල), මුදිතා ද සොයිසා (රත්නපුර) සහ කෝකිලා හර්ෂණි ගුණවර්ධන (ගම්පහ) යන මන්ත්‍රිවරියන්ය. එමෙන්ම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජ‍ාතික ලැයිස්තුව ‍නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල සහ මංජුලා විජේකෝන් දිසානායක යන මන්ත්‍රීවරියෝ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානම්ව සිටිති.

    දිගු කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ නීතීඥ තලතා අතුකෝරළ (රත්නපුර) සහ පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ රෝහිණි කුමාරි කවිරත්න (මාතලේ) මෙවර සමඟි ජන බලවේගය පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන ඡන්දයෙන් තේරි පත් වූ කාන්තා මන්ත්‍රිවරියෝ වෙති. එම පක්ෂයේ ජාතික ලැයිස්තුව නියෝජනය කිරීමට නියමිතව ඇත්තේ ඩයනා ගමගේ නවක මන්ත්‍රිවරියයි.

    ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හරිනි අමරසූරියද මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නියමිතව සිටී.

    නීතීඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි.

    පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂිකාවක ලත් වැඩිම ජන්ද සංඛ්‍යාව වන 290909ක් ලැබූ වන්නිආරච්චි මහත්මිය දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජේෂ්‍ය්ඨතම මන්ත්‍රීවරියද වේ.
    හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වූ ධර්මදාස වන්නිආරච්චි මහතාගේ දියණිය වන ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඇරයුමට අනුව 1990 දි දේශපාලනයට ප්‍රවිෂ්ට වූවාය. ඉන්පසුව 1993 දි සබරගමුව පළාත් සභාව නියෝජනය කළ ඇය 1994 දි රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියාය. 2000 වසරේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධූරයට පත්වූ ඇය, 2008 වසරේදි පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සංසදයේ සභාපතිවරිය ලෙසද කටයුතු කොට ඇත.
    2001 සිට 2004 කාලය දක්වාත් 2015 සිට 2019 දක්වා කාල සීමාව තුළත් විපක්ෂයේ ප්‍රබල සාමාජීකාවක ලෙස කටයුතු කළ ඇය 2019 වසරේදි කාන්තා හා ළමා කටයුතු, සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර කොවිඩි 19 වසංගතය පිටුදැකීම වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් සිදු කරන ලදි.

    විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ.

    1984 වසරේ කොළඹ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා ඇය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලෙස වසර 24 කට ආසන්න කාලයක්ද වෛද්‍යවරියකු ලෙස කටයුතු කර ඇත. 1993 දී ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය සමත්ව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලාට්‍රෝබ් විශ්ව විද්‍යාලයෙන් හා එංගලන්තයේ ලන්ඩන් නුවර ළමා සෞඛ්‍ය ආයතනයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා 2000 වසරේ සිට ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකු ලෙස වසර 10ක් සේවය කළාය.
    නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය සිය සැමියා වූ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහ‍තාගේ හදිසි අභාවයෙන් පසු දේශපාලනයට ප්‍රවේශ වූවාය. ඇය අටවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරියක් ලෙස කටයුතු කළ අතර, ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකාවකද වූවාය. ළමුන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයේ සාමාජිකා, කාන්තා හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකාවකද ලෙස ඇය කටයුතු කර ඇත.

    නීතීඥ තලතා අතුකෝරළ.

    හිටපු අධිකරණ අමාත්‍යවරිය වන නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයකු වන ගාමිණි අතුකෝරළ මහතාගේ නැගණියයි. සිය සහෝදරයාගේ අභාවයෙන් පසුව ඇය සිය ‍දේශපාලන කටයුතු රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඇරඹුවාය. 2004 වසරේදි ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසෙන ඇය එක්සත් ජාතික පක්ෂ ලක් වනිතා සංවිධානයේ සභාපතිවරිය හා මැතිවරණ කටයුතු පිළිබඳ ලේකම්, කොළඹ ක්‍රියාදාමයේ සභාපතිනිය යන තනතුරු දරා ඇත.
    2015 වසරේදි මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට විදේශ රැකියා අමාත්‍යවරිය ලෙසත්, 2018 වසරේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය ලෙසත් ඇය කටයුතු කොට ඇති අතර, මෙවර සමඟි ජන බලවේගය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්ව ඇත. ඇය එම පක්ෂයේ වර්තමාන බලංගොඩ ආසන සංවිධායකවරිය ලෙසද කටයුතු කරයි.
    ඇය රත්නපුර පැල්මඩුල්ල මහින්ද විද්‍යාලය,ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේ හා කොළඹ අනුලා විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවකි.1985 නීති විදුහලට ඇතුළත් වූ ඈ 1992 දී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක ලෙස නීති ක්ෂේත්‍රයට ප්‍රවේශ වූවාය.
    මෙවර සිවුවැනි වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන අතුකෝරාළ මහත්මිය කොළඹ මියුසියස් විද්‍යාලයයේ හා බිෂොප් විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය නිමකර නීති විදුහලට ඇතුළත් වූ අතර නීතිඥවරියක ලෙස 12 වසරක් එම වෘත්තියෙහි නියුක්ත වූ කාන්තාවකි.

    රෝහිණි කුමාරි කවිරත්න.

    ලග්ගල පල්ලෙගම මධ්‍ය මහා විද්‍යාලය, මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල,කොළඹ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඈ වසර 19 ක කාල සීමාවක් ගුරු වෘත්තියේ කටයුතු කර ඇත.
    සිය පිය පාර්ශවය වූ කේ.වයි.එම්.විජේරත්න බණ්ඩා මහතාගෙන් මෙන්ම සැමියා වූ සංජීව කවිරත්න මහතාගෙන් උරුම වූ ජාතික දේශපාලන උරුමය හා අත්දැකීම් සමග ඈ මුලින්ම පාර්ලිමේන්තුව ට ප්‍රවිෂ්ට වූයේ 2015 මැතිවරණය ජයගනිමිනි. එවර ඇය එක්සත් ජාතික පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් එකම මහජන නියෝජිතවරිය ලෙස අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කළාය.
    අටවැනි පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කාරක සභාවේ සමාජිකාවක් සහ එම කාරක සභාවේ අනු කමිටුවේ සභාපතිනිය ලෙසද කටයුතු කොට ඇත. එමෙන්ම කාන්තා හා ස්ත්‍රි පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකාවක ලෙසද, තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකාවක ලෙසද, අන්තර් පාර්ලිමේන්තු සංසදයේ, කාන්තා කාර්යාංශයේ දකුණු ආසියානු පැසිෆික් කලාප නියෝජිතවරිය ලෙසද සුවිශේෂි කාර්යභාරයක් ඉටු කළාය.

    ගීතා සමන්මලි කුමාරසිංහ.

    පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය සම්මානනීය සිනමා නිළියක,නිෂ්පාදිකාවක හා ව්‍යවසායිකාවකි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාධාරිණියක වන ඇය ඇඟළුම් ක්ෂේත්‍රයේ කළමනාකාර අධ්‍යක්ෂවරියක ලෙස වසර 20 ක කාලයක් කටයුතු කොට ඇති අතර, සිය සිනමා දිවිය තුළ සිරි‍බෝ අයියා, ලොකු දුව, පාලම යට වැනි විශිෂ්ට නිර්මාණ රැසකට දායකත්වය සපයා ඇත.
    2010 වසරේ මුල් වරට දේශපාලනයට පිවිසිසෙන ඇය 2014 වසරේදි දකුණු පළාත් සභාව නියෝජනය කරමිනි. අටවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක ලෙසද කටයුතු කළ ඈ මෙවරද ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු වරම් ලබා සිටින්නීය. එමෙන්ම ඇය බෙන්තර -ඇල්පිටිය ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරිය ලෙසද කටයුතු කරනු ලබයි.

    කෝකිලා හර්ෂණී ගුණවර්ධන.

    මීරිගම ,ලෝලුවාගොඩ ග්‍රාමයේ ජන්ම ලාභය ලද ගුණවර්ධන මහත්මිය මීරිගම කනංගමුව මහා විද්‍යාලයේ හා ගම්පහ , සිරිකුරුස විදුහලේ ආදි සිසුවියකි. ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවා කාර්‍යමණ්ඩලයේ වසර 09 ක කාල සීමාවකින් පසුව 2004 වසරේ රැකියාවෙන් ඉවත්ව තිබේ.
    කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය නැසීගිය පළාත් සභා මන්ත්‍රි දේශබන්ධු නාමල් ගුණවර්ධන මහතාගේ නැගණියක වන අතර, සිය සහෝදරයාගේ අභාවයෙන් පසුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිස මීරිගම ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ධුරයද, බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරියක ලෙසද දශකයකට ආසන්න කාලසීමාවක් කටයුතු කොට ඇත. මීට පෙර දෙවතාවකදී ම පාර්ලිමේන්තු මැතිවරණ සදහා ඉදිරිපත් වුණු ඈ මෙවර ඒ සදහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටින්නීය.

    මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා.

    අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියදි හදිසියේ අභාවයට පත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාගේ බිරිඳ වන මුදිතා ප්‍රිශාන්ති ද සොයිසා මහත්මිය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රක්වාන ආසන සංවිධායකවරියද වේ.
    රත්නපුර ගොඩකවෙල හුණුවල ධර්මරාජ විදුහල ,බණ්ඩාරගම මධ්‍ය මහා විදුහල, පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හැදෑරූ සොයිසා මහත්මිය වෘත්තියෙන් ගුරුවරියකි.
    ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ආසන බල මණ්ඩලයේ සභාපතිවරිය ලෙසද, සබරගමුව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරිය ලෙසද කටයුතු කර ඇත. රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසෙන ඇය රත්නපුර දිස්ත්‍රික්කයෙන් හත්වැනි ස්ථානය ලබාගෙන මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබේ.

    විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ.

    හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ මහත්මිය වෘත්තියෙන් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකි. ආණ්ඩුකාරවරියක ලෙස පසුගිය සමයේ කසළ ප්‍රතිචක්‍රිකරණය සහ ඩෙංගු නිවාරණ වැඩපිළිවෙලක් දියත් කළ ඇය වඩාත් කතාබහට ලක්වූයේ කොව්ඩ් 19 වසංගතය පිටු දැකීමේ කාර්ය සාධක බලකායේ ඉදිරිපෙළ සාමාජිකාවක් ලෙසය.

    මංජුලා විජේකෝන් දිසානායක.

    අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටියදි හදිසියේ අභාවයට පත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ බිරිඳ මංජුලා විජේකෝන් දිසානායක වෘත්තියෙන් ගුරු උපදේශිකාවකි. ඇයද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ප්‍රථම වතාවටය.

    නීතීඥ ඩයනා ගමගේ.

    ජාතික ලැයිස්තුවෙන් නවක මන්ත්‍රිවරියක ලෙස පාර්ලිමේන්තුව පිවිසීමට නියමිත ඩයනා ගමගේ මහත්මිය නිතීවේදිනියක් මෙන්ම කළමනාකරණය පිළීබඳ පශ්චාත් උපාධිධාරිනියකි.
    2002 වර්ෂයේදී එජාප තරුණ වෘත්තීයවෙිඳින්ගේ සංගමයට බැඳි සිය දේශපාලන ගමන ආරම්භ කළ ඇය 2014 වසරේ පළාත් සභා මැතිවරණයේදි කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් ලෙස මැතිවරණ තරග බිමට අවතීර්ණ වූවාය.

    රාජිකා වික්‍රමසිංහ.

    2015 දී ද පාර්ලිමේන්තු මැතිවරණයටද ඉදිරිපත් වූ වික්‍රමසිංහ මහත්මිය පසුගිය සබරගමුව පළාත් සභාවේ හිටපු අමාත්‍ය ශ්‍රි ලාල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳයි. රාජිකා වික්‍රමසිංහ මහත්මිය ප්‍රකට සමාජ සේවිකාවක් වන අතර පොදු ජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා පෙරමුණේ සක්‍රිය සාමාජිකාවක්ද වෙයි.
    ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයීය ආදි සිසුවියක වන ඈ වෘත්තියෙන් හෙදියක ලෙස කටයුතු කර ඇත.

    ආචාර්ය හරිනි අමරසූරිය.

    ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හරිනි අමරසූරියද මෙවර ප්‍රථම වරට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට නියමිතව සිටින්නීය.
    කොළඹ බිෂොප් විදුහලේ ආදි සිසුවියක වන ඇය සිය ප්‍රථම උපාධිය ඉන්දියාවේ ,දිල්ලි විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අතර ශ්‍රාස්තපති උපාධිය ඔස්ට්‍රේලියානු විශ්විද්‍යාලයකින් සමත්ව , එක්සත් රාජධානියේ, එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත් අතර, 2011 සිට ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කළාය.
    විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සංසදයෙහි ක්‍රියාකාරී සාමාජිකාවක සේ කලක් කටයුතු කළ අමරසූරිය මහත්මිය එහි ලේකමිවරියක මෙන්ම ප්‍රක‍ට සමාජ ක්‍රියාකාරිනියකි.විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඇය ළමා ආරක්ෂණ හා මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙසද වසර ගණනාවක් කටයුතු කර ඇත.ග්‍රන්ථ කිහිපයකද කතුවරියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here