
ජිනිවා හි සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට නොදන්වා කිසිදු වාර්තාවකට අත්සන් කර නැතැයි සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදි ශ්‍රී ලංකාව හෝ තානාපතිවරයා හෝ කුමන වාර්තාවකටවත් අත්සන් කළේ නැතැයිද වැඩිදුරටත් සඳහන් කළේය.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ ජිනිවා තානාපතිවරයා ජනාධිපතිට හා විදේශ අමාත්‍යාංශයට නොදන්වා වාර්තාවකට අත්සන් කළ බවට පළවු පුවත් පිළිබඳ අදහස් දක්වමිනි.
ජිනිවා හි මානව හිමිකම් කවුන්සිලයේ දි අත්සන් කළ එකම ලියවිල්ල වන්නේ රටවල් කිහිපයක් සමග සමඅනුග්‍රහකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට පමණකැයිද ඇමතිවරයා කීවේය.
එම යෝජනාව මගින් පසුගිය වසර 3 ක කාලය ඇතුළත් රජය කටයුතු කළ ආකාරය ගැන අවස්ථා 6 කදි ඇගයීමකට ලක්ව ඇතැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහකොමසාරිසි මිචෙල් බැචලර් මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව විදේශ ඇමතිවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බවද ඒ මහතා කීවේය.
මාධ්‍ය වාර්තා දෙස බැලීමේදි යෝජනාව හා වාර්තාව පටලවා ගෙන ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.