දෙපාර්තමේන්තු දෙකක ප්‍රගතිය 100%

0
201

දැනට පවතින අමාත්‍යාංශ පනස් එකෙන් සියයට පනහකට වඩා වැඩි සංඛ්‍යාවක් මුල්‍ය පාලනය සහ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවෙන් හෙළිදරව් කර ඇත.

රජයේ ගිණුම් කාරක සභාවේ 2016 වර්ෂයට අදාළ වාර්තාවට අනුව අමාත්‍යාංශ විසි හයක් ස්ථාවර වත්කම් ලේඛණය යාවත්කාලින කර පවත්වාගෙන ගොස් නැති බවද සඳහන්වේ. වසරකට වැඩි අත්තිකාරම් ගිණුමේ ශේෂ නොපියවු අමාත්‍යංශ සංඛ්‍යාව 40 කි.

මෙම වාර්තාව අනුව අමාත්‍යාංශ 28 ක් භාණ්ඩ සමික්ෂණ වාර්තා ක්‍රියාත්මක කර නැත. විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළ අමාත්‍යාංශ 29 ක් පිළිතුරු සපයා නොමැත. එසේම විගණාකාධිපති දෙපාර්තමේන්තුවද වසරකට වැඩි කාලයක සිට පැවත එන හිඟ ණය පියවා නැතැයිද වාර්තාවේ දැක්වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමද විගණන හා කළමනාකරණ කමිටු රැස්විම් අවම ලෙස වාර තුනක්වත් පවත්වා නැති බවත් භාණ්ඩ සමික්ෂනය කර වාර්තා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නැති බවත් එම වාර්තාවේ සඳහන්වේ.

පාර්ලිමේන්තුවද ස්ථාවර වත්කම් ලේඛණ තොග පොත්, පරිගණක උපාංග හා මෘදුකාංග භාණ්ඩ වට්ටෝරු ලේඛණ යාවත්කාලින කර නැත. විගණන විමසුම් සඳහා නියමිත කාලය තුළ පිළිතුරු දී නැත.

ක්‍රීඩා අමාත්‍යාංශ පඩිනඩි ලේඛණය යාවත්කාලින කර නොමැත. ප්‍රතිපාදන සීමාව ඉක්මවා වියදම් දරා ඇති බවද සඳහන්වේ. අනුමත සීමාව ඉක්මවා කාර්ය මණ්ඩලය බඳවාගෙන ඇත. නීතිපති දෙපාර්තමේන්තුවද ස්ථාවර වත්කම් ලේඛණයක් යාවත්කාලීන කර නැත. විගණන විමසුම්වලට පිළිතුරු දි නැත. භාණ්ඩ සමික්ෂණය කර නැත. සංචිත වාහන දෛනික ධාවන සටහන් හා මාසික සාරාංශ විගණකාධිපතිවරයාට ඉදිරිපත් කර නැත. තොග පොත් යාවත්කාලීන කර නැති බවද වාර්තාවේ දැක්වේ.

මෙලෙසින් රජයේ දෙපාර්තමේන්තු අනු දෙකෙන් විශාල සංඛ්‍යාවක දුර්වලතා ගිණුම් කාරක සභා වාර්තාවෙන් හෙළි කර ඇත. එමෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් සභා පිළිබඳවද වාර්තාවේ සඳහන් කර තිබේ. අමාත්‍යාංශ අතරින් මුල්‍ය හා කාර්ය සාධන නියමයන් හා වඩාත් සතුටුදායක ලෙස අනුගතවී තිබෙන්නේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය බවද එම මට්ටම සියයට අනු දෙකක් බවද ගිණුම් කාරක සභාව දක්වයි.

භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හා සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සියයට සියයක් සාර්ථක බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සියයට 99 ක්ද, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියයට 96 ක්ද, සීතාවක ප්‍රාදේශිය සභාව සියයට 95.5 ක්ද සාර්ථක ලෙස මුල්‍ය හා කාර්ය සාධන නියමයන්ට අනුගත වී ඇතැයිද වාර්තාවේ දැක්වේ.

රජයේ ගිණුම් කාරක සභාවේ පළමුවන වාර්තාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here