සන්ධාන මහ ලේකම් ධුරයෙන් අමරවීර ඉවත් ව යන්න එපා – මෛත්‍රීපාල සිරිසේන

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට යන බව අනාවරණය වේ.

බොහෝ දුරට ලබන 17 වැනි දින රැස්වීමට නියමිත ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී ඔහුගේ එම තීරණය දැනුම්දීමට නියමිත බවද අපට දැන ගැන්මට ලැබුණි.

මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී මහා ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, “තමා ඕනෑ වේලාවක සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවයි”

මේ පිළිබඳව තමා අවස්ථා කිහිපයකදීම පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම්වත් කර තිබෙන බව එතුමා තව දුරටත් පැවසී ය.

එසේම සන්ධානයේ මහ ලේකම් ධුරයට පත්කළ යුතු වන්නේ ශ්‍රී ල.නි.පක්ෂය හැර නොයන පක්ෂයට ආදරය කරන, එ.ජා.පක්ෂයේ හෝ පොහොට්ටුවේ සාමාජිකයකු නොවන අයකු බවත් එතුමා පැවසී ය.

කෙසේ නමුත් පක්ෂයේ නායකයා ගනු ලබන ඕනෑම තීරණයකට තමාගේ සහාය ලබාදෙන බවත් කිසිදු විටෙක ශ්‍රී ල.නි.පක්ෂය හැර නොයන බවත් වැඩිදුරටත් සඳහන් කළේ ය.

වාර්තාවන අන්දමට සන්ධාන මහ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් වීමට කැමැත්ත පළකරමින් ඒ සම්බන්ධව පක්ෂ නායකත්වය දැනුවත් කළ අවස්ථාවන්හිදී “සන්ධාන මහ ලේකම් ධුරය පිළිබඳව ඔබතුමාට කිසිවකුගෙන් චෝදනාවක් නැඟී නැහැ. එම නිසා මෙවැනි තීරණයක් ගැනීමෙන් වැළැකී සිටින්නැයි” ජනාධිපතිවරයා සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here