රනිල්ට කරගෙන යන්න ඉඩදෙමු.

එක්සත් ජාතික පක්ෂයට එරෙහි විශාල බලවේගයක් විපක්ෂයේ සිටින සියලූ මන්ත්‍රීවරුන් සමඟ අත්වැල් බැද ගනිමින් ගොඩනැගිමට බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දහසය දෙනා වෙනුවෙන් ප්‍රකාශයක් කරමින් එස්.බි දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ ය.
කතානායක කරු ජයසූරිය මහතාගේ අවසරය මත පෞද්ගලික මන්ත්‍රී ප්‍රකාශයක් ලෙස ඒ මහතා කළ ප්‍රකාශයේ මෙසේද සඳහන් කළේ ය.
“අපි ඊයේ 16 ක් විපක්ෂයට ආවා. අපට ඉතා ඉක්මණින් විපක්ෂයේ නියමිත ආසන පැනවිම ගැන කතානායකතුමාට ස්තුතිය පුද කරනවා.මේ 16 දෙනාට හිටපු කැබිනට් ඇමතිවරු, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්ම නියෝජ්‍ය කතානායකත් ඇතුළත්. අපේ හෘද සාක්ෂිය අනුව විපක්ෂයේ හිද ගැනිමට අවස්ථාව දුන් ජනාධිපතිතුමාටත් ස්තුතිය පුද කරනවා.”
‘ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා අපව ඉතා සාදරයෙන් පිළිගත්තා. මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාමාංශික නායක චන්ද්‍රසිරි ගජධිර, ආරුමුගන් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද යන අය අපව සාධරයෙන් පිළිගත්තා. ආර්. සම්බන්දන්, විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක යන අය සමඟ අප සහෝදරත්වයෙන් විපක්ෂයේ කටයුතු කිරිමට බලාපොරොත්තු වෙනවා.’
‘සභානායක, ආණ්ඩු පක්ෂයේ සංවිධායක වගේම රවුෆ් හකිම්, රිෂාඩ් බද්යුදින් සහ සෙසු ඇමතිවරු අපේ මිත්‍රයින්. ඔවුන් සමඟ අපේ ගැටලූවක් නැහැ.’
‘අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට අපේ හෘද සාක්ෂියට එකඟව සහාය දුන්නා. පාර්ලිමේන්තුවේ එතුමාට තිබෙන විශ්වාසය එතුමා පෙන්නුවා. ඒ නිසා එතුමාට ආණ්ඩුව කරගෙන යාම ඉඩදිලා අපි විපක්ෂයට ආවා.’
‘මහ බැංකු බැදුම්කර වංචනිකයන් නීතියේ රැහැනට හසුකර ගන්න ආණ්ඩුවේ සිට අපි උත්සාහයක යෙදුනා. ශ්‍රීලනිප අපි විශේෂ කමිටුවක් පත්කර මේ ගැන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිතුමාට යෝජනා කළා. මේ වංචනිකයෝ කොටුකර ගන්න ඒකාබද්ධ විපක්ෂයටත්, ජනතා විමුක්ති පෙරමුණටත් අප සහාය දුන්නා. කෝප් කමිටුවේදි ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස මේ විශ්වාසභංග යෝජනාවට එරෙහිවිමට අපට සදාචාරාත්මක අයිතියක් තිබුණේ නැහැ.’
‘අද අපි විපක්ෂයට පැමිණ විපක්ෂයේ දේශප්‍රේමී වමේ මන්ත්‍රීවරුන් සමඟ එකතු වුනේ සතුටින්. මේ සියලූ දෙනා සමඟ අත්වැල් බැදගෙන එක්සත් ජාතික පක්ෂයට එරෙහි විශාල බලවේගයක් ගොඩනගන්න අපට විපක්ෂයේ සිට හැකි වේවි.’
‘විපක්ෂයේ සියලූ මන්ත්‍රීවරුන් සමඟ යුක්ති සහගත සාධාරණ සටන්වල යෙදි සිටිනවා. ආණ්ඩුව කරන හොද දේට උදව් කරන්නත් කැමතියි.’
‘අගමැතිතුමා මැයි දිනයේ කිව්වා සමෘද්ධි මුදල් කෝටි 675 ක් අතුරුදහන් කියලා. කෝටි 675 ක් තියා ශත 675 ක් අතුරුදහන් වුනත් ඒක වරදක්. එහෙම දෙයක් තිබේ නම් වහා පරික්ෂා කරන්න. ඒ වගකිම මා භාර ගන්න කැමතියි.’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here