සමෘද්ධියට වෙන්නේ මේකයි

දිවයින පුරා විසිරී සිටින ලක්ෂ 14 ඉක්මවන සමෘද්ධිලාභීන්ගේ හිමිකම් පිළිබඳව සුදුසුකම් මුල සිට පරීක්ෂා කිරීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ සියලු සුදුසුකම් තිබියදී සමෘද්ධිය නොලැබෙන බවටත් අවම සුදුසුකම්වත් සපුරා නැති අය සමෘද්ධි දීමනා ලබන බවටත් විවිධ පාර්ශවවලින් ලැබෙන පැමිණිලි දස දහස් ගණනක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් පසුව ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජය යටතේ සමෘද්ධි විෂය දිගු කලක් තිස්සේ පැවැතීම හේතුවෙන් දේශපාලන බලපෑම් මත සමෘද්ධි දීමනා අහිමි කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සාමාජිකයින් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ පැමිණිලි මේ වන විට අදාළ ස්ථානවලට යොමු කර ඇත.
සමෘද්ධි විෂය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමත් සමඟම සමෘද්ධි හිමිකම් දීමේදී ඇති වු සියලු අසාධාරණකම් නිවැරදි කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති පී.හැරිසන් මහතාට උපදෙස් දී තිබේ. මෙතෙක් සමෘද්ධිලාභීන් තේරීමට සමෘද්ධි සංවර්ධන නිලධාරියා සතුව පැවැති තනි බලය දිසාපතිවරයා හරහා ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැවරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
සමෘද්ධි අරමුදල් පරිහරණය කිරීමේ දී සිදු ව තිබෙන මහා පරිමාණ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සමෘද්ධි විෂය අග්‍රාමාත්‍ය කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලෙස ද අගමැතිවරයා දුන් උපදෙස් වල සඳහන් වේ.
අවම සුදුසුකම් නැතිව සමෘද්ධි දීමනා ලබන පවුල් පිළිබඳ ව මාස 4 ක කාලයක් ඇතුළත ප්‍රාදේශීය ලේකම් මට්ටමින් තොරතුරු ලබා ගැනීමෙන් පසු සුදුසුකම් හිමි අලුත් පවුල් සමෘද්ධි හිමිකම්ලාභීන් ලෙස පත් කර ගන්නා බව ඇමැති පී.හැරිසන් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here