ජනපතිගෙන් හැමෝට ම ඇහෙන්න විශේෂ කතාවක්…

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වන ගුණ සමරු උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව.

පොඩි මිනිසා වෙනුවෙන්, නැති බැරි මිනිසා වෙනුවෙන් ඔහු ඉහළ සමාජ ස්ථරයකට නගා සිටුවීම වෙනුවෙන් පැහැදිලි දේශපාලන ප්‍රතිපත්තියක් සහ දර්ශනයක් ඔස්සේ වැඩකළ අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණ සමරමින් අද මේ පවත්වන උත්සවයට සහභාගී වීමට ලැබීම පිළිබදව සතුටුවෙනවා. ඒ වගේම මා වෙත ආරාධනා කළ සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහ පවුලේ සියලූ දෙනාටත් මේ උත්සවය සංවිධානය කළ සංවිධායක කමිටුවටත් මා ස්තූතිවන්ත වෙනවා.

මා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටිනා කාලයේදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඇසුරු කරනු ලැබුවා. එතුමා සමග හොද සම්බන්ධතාවයක් මා ඇතිකර ගෙන තිබුණා. එතුමා තුළ මේ රටේ පොදු ජන හදවත්වල මතක සටහන් තබා තිබෙන්නේ පොඩි මිනිසා වෙනුවෙන්, පීඩාවට පත්වූ මිනිසුන් වෙනුවෙන් යුග මෙහෙවරක් කළ පුරුෂයෙක් ලෙසයි. වර්තමානයේ සිටින දේශපාලනඥයින් මෙන් නොව පොදු ජනතාවගේ සිහින සැබෑ කරගැනීමටයි එතුමා කැපවුණේ. අද අපේ රටේ දේශපාලනයේ අපි දකින ප්‍රධාන ප්‍රශ්නය තමයි පොදු ජනතාවගේ සිහින සැබෑ කිරීම පැත්තකින් තියලා තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ තම තමාගේ අනාගතය පිළිබද දේශපාලන සිහින සැබෑ කර ගැනීමේ දේශපාලන සංස්කෘතියක් වර්තමානයේ බිහිවී තිබීම.

පොඩි මිනිසුන් වෙනුවෙන් වැඩකරන්නට, ඔහු නගා සිටුවීමට අවශ්‍ය සමාජ පරිවර්තනය කරන්නට, පොඩි මිනිසුන් අතරෙන් ගොඩනැගුණු නායකයෙක් ලෙස ධනපති පංතියෙන් නොවන, පාරම්පරික දේශපාලන පරිසරයකින් නොවන, ප්‍රභූ පංතියෙන් නොවන සැබෑ ලෙසම මිනිසුන් අතරෙන් බිහිවූ නායකයෙක් ලෙස රණසිංහ ප්‍රේමදාස මහතා හදුන්වා දිය හැකියි. ඒ නිසාම එතුමාට ඉතාමත් බරපතළ හා ඛේදනීය සිදුවීමවලට මුහුණ දීමට සිදුවුණා. අවසානයේ එතුමාව ඝාතනය කළා. මෙය මේ රටේ දේශපාලනයේ වගේම ලෝක දේශපාලනයේ දී අපි දැකලා තිබෙන දෙයක්. එවැනි චරිතවලට බොහෝ විට අත්වන ඉරණම පිළිබදව අපි පාඩම් ඉගෙන ගතයුතු වෙනවා.

2015 ජනවාරි 08 වැනිදාත් 2015 අගෝස්තු මාසයේත් මේ රටේ ජනතාව අප කෙරෙහි විශ්වාසය තබා අපට රට බාරදුන්නා. පෙර පැවති රජය වෙනස් කිරීමට මේ රටේ ජනතාවට තිබූ උනන්දුව සහ එය කිරීමේ අරමුණ අපි තේරුම් ගත යුතුයි. මේ රටේ ජනතාව අපට ලබාදුන් වරම, අප විසින් ඉටුකළ යුතු කාර්යයන් සදහා අපි කැපවිය යුතුයි.

අපට මේ රටේ ජනතාව මේ වගකීම් භාරදුන්නේ කුමක් සදහා ද යන්න එහිදී පළමුවෙන්ම තේරුම්ගත යුතුයි. එහිදී රටේ පවත්නා දේශපාලන මතවාදයන් පිළිබදව මෙන්ම ආර්ථික අසීරුතාවයන්ට මුහුණ දී සිටින, පීඩාවට පත්වී සිටින සාමාන්‍ය ජනතාවගේ හෘද ස්පන්ධනය තේරුම් ගැනීමට ඇති හැකියාව හැමවිටම රාජ්‍ය පාලනයක තිබිය යුතුයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ චරිතයත් එතුමාගේ දර්ශනයත් එතුමාගේ දේශපාලන ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා කළ කී දෑ සියල්ල තුළ පෙන්නුම් කළ දර්ශනය අපි පැහැදිලිව තේරුම්ගත යුතු වෙනවා. මේ ගුණ සැමරු දිනයේ එම ගුණ සිහිපත් කිරීම වගේම යම් දේශපාලනඥයෙක් වේවා වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක නියමු චරිතයක් පිළිබදව කතාකරන විට සලකා බැලිය යුතු වැදගත්ම දේ වන්නේ එම ගුණාංග වර්තමානයට අදාළ කර ගනිමින්. අනාගතය සදහා උපයෝගී කරගන්නේ කෙසේද යන්න සලකා බැලීමයි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට මේ රටේ පොදු මහජනතාවගේ හදවත් තුළ තිබෙන ගෞරවය අපි නැවත නැවතත් සිහිපත් කරමින්, එතුමා බලාපොරොත්තු වූ සමාජ ක්‍රමය වූ පොදු ජන සමාජයක් සදහා අවශ්‍ය පරිවර්තනයන් මගින් මේ රට ඉදිරියට ගෙනයාමට කළ කැපවීම් තුළින් අපි පාඩම් ඉගෙනගෙන වර්තමාන රජයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ඔස්සේ අපි සියලූ දෙනාම කටයුතු කරමු යන ඉල්ලීම කරමින්, බෞද්ධයින් විදියට එතුමාට නිවන් සුව අත්පත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා..!

තෙරුවන් සරණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here