රනිල් ගෙදර යන්න දැන් කාලේ හරි…

“එතුමා කියන්න ඕනේ රන්ජන් දැන් ඔයා බැට්‌ කරන්න. මම බෝල් කරන්නම් කියලා

එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්‌ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසී ය.එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහිදී අදහස්‌ දැක්‌වූ රාමනායක මහතා කිරි බෝතලයක්‌ද ආදේශ කොට ගනිමින් වැඩි දුරටත් කියා සිටියේ,

“මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක්‌ තියෙනවා. මේකට විතරක්‌ නෙමෙයි හැම දේකටම කල් ඉකුත්වීමේ දිනයක්‌ කියලා එකක්‌ තියෙනවා.

“මම ක්‍රිකට්‌වලින් ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට්‌ කරන්න ගොඩක්‌ අවස්‌ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක්‌ සැරයක්‌ පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්‌ථාව දුන්නා. දැන් අපිටත් බැට්‌ කරන්න අවස්‌ථාවක්‌ දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.”

“අපිට විතරක්‌ නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්‌ථාවක්‌ දෙන්න. නවීන් දිසානායක මහත්මයටත් අවස්‌ථාවක්‌ දෙන්න. හැම වෙලේ ම එතුමම බැට්‌ කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද?”

“එහෙම කරන එක වැරදියිනේ. අනිත් අයටත් බැට්‌ කරන්න අවස්‌ථාවක්‌ දීලා බලන්න ඕනේ. ඒත් එතුමා කියන්නේ මම අවුට්‌ නෑ. මට ආයෙත් බැට්‌ කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හොඳ මදි.”

“එතුමා කියන්න ඕනේ රන්ජන් දැන් ඔයා බැට්‌ කරන්න. මම බෝල් කරන්නම් කියලා. අවස්‌ථාවක්‌ දුන්නොත් ඉදිරියේදී සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්‌ෂෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.”

“එතුමට අපි බැට්‌ කරන්න අවස්‌ථාව දුන්නා 2002 දී. එතුමා එදා නම් සෙන්චරියක්‌ ගහලා ආණ්‌ඩුව ගත්තා. ඊට පස්‌සෙ 2004 එතුමා අවුට්‌ වුණා.”

“ඊට පස්‌සේ 2010 දී අපි පිතිකරුවෙක්‌ ආනයනය කළා. 2015 දී අපි තවත් පිතිකරුවෙක්‌ ආනයනය කළා.ඒ ආනයනය කළේ  සරත් ෆොන්සේකා මහත්තයවයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයවයි තමයි.එහෙම ආනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවෝ හැටියට ක්‍රීඩා කළා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here