කැබිනට්‌ මණ්‌ඩලයෙන් ජනතාවට වැඩක්‌ නැහැ. වාසිය සාමාජිකයන්ට පමණයි. – මහාචාර්ය ජී. එල්. පීරිස්‌

රට දරාගත නොහැකි ආර්ථික පීඩනයකට පත්ව තිබෙන අවස්‌ථාවක රාජ්‍ය ඇමැතිවරයකුට සුඛෝපභෝගී වාහනයක්‌ ගැනීමට ආණ්‌ඩුව රුපියල් ලක්‍ෂ 430 ක මුදලක්‌ අනුමත කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පැවසී ය.

මෙම මුදල අනුමත කළේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර දිනයේදී බවත් එතුමා තව දුරටත් පැවසී ය.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (9 දා) පැවති මාධ්‍ය හමුවේදී ය.

මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ,

අද මේ රටේ තිබෙන්නේ අද්වතීය තත්ත්වයක්‌. අගමැතිවරයා එම ධුරයෙන් ඉවත් කළ යුතුයි කියන ස්‌ථාවරයේ සිට ඡන්දය දුන් ඇමැතිවරු හයදෙනකු අගමැතිවරයා සමග කැබිනට්‌ මණ්‌ඩලයේ අසුන් ගන්නවා.

ඒ ඇමැතිවරු 6 දෙනාගේ පැහැදිලි ස්‌ථාවරය වුණේ මේ රටේ සිදුවූ විශාලත ම මහ බැංකු කොල්ලයට අනුග්‍රහය දුන් අගමැතිවරයාට එම ධුරය දැරීමට කිසිසේත් සුදුසු නැහැ. ඔහු වහා එම ධුරයෙන් ඉවත් කළ යුතුයි කියලා.

විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දුන් ඇමැතිවරු සමග රජයට ගමනක්‌ නැහැ. එම නිසා අනිවාර්යයෙන් ඒ කැබිනට්‌ ඇමැතිවරු ඇමැති මණ්‌ඩලයෙන් ඉවත් කරන්න කියා ජනාධිපතිවරයාට බලකර සිටින බව එ.ජා.ප. මන්ත්‍රීවරුන් කියා සිටිනවා. නමුත් ජනාධිපති වරයාගේ මතය වුණේ ඊට එකඟ නෑ. ඔවුන් ශ්‍රී.ල.නි.ප. යේ ඇමැතිවරු. ඒ නිසා පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තීරණයක්‌ ගන්නා බවයි.

මෙයට අමතරව ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු වෙනත් ඉල්ලීමක්‌ කරලා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කළා එ.ජා.ප. ඇමැතිවරු එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවට. මෙවැනි අවුල් ජාලයක්‌ තිබෙන කැබිනට්‌ මණ්‌ඩලයක්‌ ලෝකයේ කොහේවත් ඇතිවෙලා නෑ. ලෝකයේ කිසිම රටක මෙවැනි කැබිනට්‌ මණ්‌ඩලයක්‌ නැහැ.

කැබිනට්‌ මණ්‌ඩලය කියන්නේ සාමූහික වගකීම මත ක්‍රියාත්මක වන ආයතනයක්‌. කැබිනට්‌ මණ්‌ඩලය කියන්නේ එකට වැඩ කරන ආයතනයක්‌. නමුත් අප රටේ ඇත්තේ ඊට හාත්පසින් ක්‍රියාත්මක වන ආයතනයක්‌ ලෙසයි. එය දේශපාලන පොරපිටියක්‌. කඹ ඇදිල්ලක්‌ තියෙන්නේ. රටේ ජනතාවට වැඩක්‌ නැහැ. ප්‍රයෝජන ලබන්නේ කැබිනට්‌ මණ්‌ඩල සාමාජිකයන්ට පමණයි.

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තිබූ දිනට පෙර දින එක්‌තරා කැබිනට්‌ ඇමැතිවරයකුගේ භාවිතය සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ අධිසුඛෝපභෝගී වාහනයක්‌ සඳහා රුපියල් ලක්‍ෂ 430 ක මුදලක්‌. ඔහු ෆවුසි ඇමැතිවරයායි. මේ දුන්නේ අගමැතිවරයා රැකගැනීමට සහාය දුන් නිසයි. ඔහු විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමට පැමිණියෙත් නෑ. මේවාට වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව. දරාගත නොහැකි ආර්ථික පීඩනයක සිටින අවස්‌ථාවක එක ඇමැතිවරයකුගේ වාහනයක්‌ සඳහා මිලියන 43 ක්‌ වෙන් කරනවා.

ඇමැතිවරුන්ට සුර සැප විඳීමට ආණ්‌ඩුව මේ විදියට ගැටගසාගෙන යා හැකියි. නමුත් රටේ ජනතාවට සෙතක්‌ සැලසීමට කැබිනට්‌ මණ්‌ඩලයට අවම හැකියාවක්‌ නැහැ. මෙම විශ්වාසභංගයෙන් පසු ශ්‍රී.ල.නි.ප.යට වෙනත් කිසිදු පක්‍ෂයකට නොවුණු දෙයක්‌ වී තිබෙනවා. විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ අනෙක්‌ සියලු පක්‍ෂ තීන්දුවක්‌ ගත්තා ඒ තීරණයට අනුකූලව ඒ සියලු පක්‍ෂවල මන්ත්‍රීවරු හැසිරුනත්, ශ්‍රී.ල.නි.ප යේ පමණයි එවැන්නක්‌ සිදු නොවුණේ. පක්‍ෂයේ පදනම දෙදරා ගියා. සුනුවිසුනු වූ පක්‍ෂයක්‌. 16 ක්‌ අගමැතිට විරුද්ධව ඡන්දය දුන්නා. 23 දෙනකුට කොන්දක්‌ තිබුණේ නෑ. විරුද්ධවීමට හෝ පක්‍ෂ වීමට. ශ්‍රී.ල.නි.ප. යට ස්‌ථාවරයක්‌ නෑ. අයාලේ යනවා. මේ තමයි ඒ පක්‍ෂයට අත්ව තිබෙන ඉරණම.

පෙබරවාරි 10 වැනිදා පළාත් පාලන මැතිවරණයෙන් පසු එ.ජා.ප. යෙන් ඉවත් වීමට ශ්‍රී.ල.නි.ප. ය තීරණයක්‌ ගත්තා ඒ නිසා ජනාධිපතිවරයා කෙළින්ම කියා සිටියා අගමැතිවරයාට ඉල්ලා අස්‌වන ලෙසට. නමුත් අගමැතිවරයා කියා සිටියේ ඉවත් වෙන්නේ නෑ. 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ඉවත් කිරීමට බලයකුත් නැති බවයි.

ශ්‍රී.ල.නි.ප. යේ ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතා පණිවුඩයක්‌ ගෙනගියා අගමැතිවරයාට ඉල්ලා අස්‌වෙන්න කියලා. මේ පණිවුඩය යෑව්වේ කවුද? පක්‍ෂ අනුමැතිය ඇතුවයි එතුමා ඒ පණිවුඩය රැගෙන ගියේ. මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසේ තිබූ සාකච්ඡාවකදී තීරණයක්‌ ගත්තා විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය දීමට. ශ්‍රී.ල.නි.ප. යේ මන්ත්‍රීවරු සියලු දෙනා එම තීරණයට අනුව පොදු ස්‌ථාවරයක සිටියා නම් අවසාන ප්‍රතිඵලය මීට හාත්පසින් වෙනස්‌. එහෙම වුණානම් එ.ජා.ප. යේ මන්ත්‍රීවරු 20 ක්‌ 25 අතර සංඛ්‍යාවක්‌ පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට. නමුත් ශ්‍රී.ල.නි.ප. ස්‌ථාවරය අවසානයේ වෙනස්‌ වූ නිසා එ.ජා.ප. යේ මන්ත්‍රීවරු තීරණය කළා පක්‍ෂව ඡන්දය දීමෙන් වැඩක්‌ නැහැ කියලා.

විපක්‍ෂ නායකවරයා විපක්‍ෂ නායක විය යුත්තේ මුළු රටටමයි. නමුත් අපේ විපක්‍ෂ නායක මුළු රටටද? මේ විපක්‍ෂ නායකවරයා උතුර හැර වෙනත් පළාත් ගැන කතා කරන විපක්‍ෂ නායකවරයෙක්‌ද? මේ විපක්‍ෂ නායකවරයා උතුර ගැන පමණයි. කතා කරන්නේ. හීලෑ වූ විපක්‍ෂ නායකයෙක්‌.

මේ තත්ත්වයට වගකිව යුත්තේ ශ්‍රී.ල.නි.ප. නායකත්වයයි. ශ්‍රී.ල.නි.ප. නායකත්වය මෙලෙස හැසිරුණු ප්‍රථම අවස්‌ථාව මෙය නොවෙයි. මේ තුන්වැනි අවස්‌ථාවයි. එම නිසා මීට පසු ශ්‍රී.ල.නි.ප. නායකත්වයට එ.ජා.ප. ප්‍රතිපත්තිවලට විරුද්ධයි කියා කීමට කිසිම අයිතියක්‌ නැහැ. එ.ජා.ප. රජය ආරක්‍ෂා කරන්නේ ශ්‍රී.ල.නි.ප. නායකත්වයයි.

හොරු සමග වැඩ කරන්න සූදානම් නැහැ කියපු ශ්‍රී.ල.නි.ප. නායකත්වය පළාත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට්‌ මණ්‌ඩලය සංශෝධනය කරනවා කිව්වා. මේ එකක්‌වත් වුණාද? පැලැස්‌තර විසඳුම් මිස වෙනසක්‌ වුණේ නෑ.

අගමැතිවරයා බලය ලබාගැනීමට විවිධ පොරොන්දු දෙනවා. විශ්වාසභංග යෝජනාවෙන් පසු එ.ජා.ප. යේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක්‌ පත් කළා. එපමණයි වුණේ. ලොකුවට කතා කරලා ගෙන යන වැඩපිළිවෙළ වෙනසකින් තොරව කරගෙන යනවා.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමන්ගේ ප්‍රශ්න තාවකාලිකව විසඳීමට ඕනෑම දෙයකට එකඟවීමට සූදානම් පුද්ගලයෙක්‌. රටට මොන ප්‍රතිඵල ජනිත වුණත් ඒවා ගැන තකන නායකයෙක්‌ නොවෙයි අගමැතිවරයා. විශ්වාසභංගයට විරුද්ධව දෙමළ සන්ධානයේ ඡන්ද 16 ලැබුණේ නිකන් නොවෙයි. ලිත ප්‍රතිඥ පදනම් කරගෙනයි. දෙමළ සන්ධානය එම තීරණයට එළඹුණේ මෙය දෙමළ සන්ධානයට අවුරුදු තෑග්ගක්‌.

හමුදාවේ ග්‍රහණයට ලක්‌ව තිබූ අක්‌කර 650 ක භූමියෙන් ශ්‍රී ලංකා හමුදා ඉවත් කරනවා. මේවා තමයි ඩීල්. ලිත ප්‍රතිඥ 10 න් එකක්‌ උතුරු නැගෙනහිර පළාත්වල දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් ලෙස පත් කළ යුත්තේ දමිළ පුද්ගලයන් වීම, ඊට අමතරව උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය සේවයේ රක්‍ෂා ලබාගැනීමට දිවයිනේ සෙසු පුද්ගලයන්ට ඉතාම අසීරු තත්ත්වයක්‌ උද්ගතවීම මේ රටේ ඕනෑම පුරවැසියකුට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ අයිතියක්‌ තිබෙනවා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පදිංචි වීමට රැකියාවක්‌ කිරීමට. ඕනෑම ප්‍රදේශයක ජීවනෝපාය මාර්ග සාර්ථක කරමින් කටයුතු කිරීමට.

එක්‌තරා භාෂාවක්‌ කතා කරන පුද්ගලයන්ට පමණක්‌ තනතුරු දෙනවා කියන ස්‌ථාවරයේ සිටී නම් එකම රටක්‌ හැටියට ඉදිරියට යාමට හැකියාවක්‌ නැහැ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here