‘ඔරුව පෙරළුණොත් පිට පැත්තේ නැගලා හරි ගොඩට එන්න ඕන ‘- මහින්ද දේශප්‍රිය

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති
මහින්ද දේශප්‍රිය සමගින් සිදු කළ සංවාදයක් ඇසුරෙනි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කාන්තා නියෝජනය 25% ක් වීම අර්බුදයක් බවට පත් වුණා. ඒ ගැන ඔබ දරණ මතය කවරක් ද?

25% කාන්තා නියෝජනය සමස්තයක් ලෙස බැලුවම අර්බුදයක් කියලා කියන්න බෑ. නමුත් පක්ෂවලට නම් කිරීමට හිමිකම් තිබූ සභික සංඛ්‍යාවෙන් වැඩි සංඛ්‍යාවක් ලෙස කාන්තාවන් දාන්න සිදුවුණ තැන්වල පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද නිර්මාණය වෙන්න ඇති. එහෙම නැතිව මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි පක්ෂවලට කාන්තාවන් පස් දෙනෙක් නම් කරන්න කියලා යැව්වම, ඒ අය කාන්තාවන් තුන් දෙනෙකුයි පිරිමි දෙන්නෙකුයි නම් කරලා එවනවා.

එතකොට අපි පිරිමි දෙන්නා පත් නොකර වෙනත් කාන්තාවන් දෙදෙනෙක්ගේ නම් කැඳවලා තමයි පත් කිරීම් කළේ. නමුත් ඇත්තටම පක්ෂවල අභ්‍යන්තරයේ මේ කාරණය ගැටලුවක් වුණා. සමහර පක්ෂවල ආයතනයේ කණ්ඩායම් නායකයා ලැයිස්තුවේ තමයි ඉඳලා තියෙන්නේ. ඒත් පිරිමි ලැයිස්තුවෙන් පත් කරන්න ඉඩක් නැතිවුණාම නායකයා එළියේ තැබීම ගැටලුවක් වෙලා තියෙනවා. කොහොම වුණත් ඒවා පක්ෂවල මිසක් අපේ ප්‍ර‍ශ්න නෙවෙයි.

ඔබ කියන විදිහට මේ අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ පක්ෂවල නොසැලකිල්ල හේතුවෙන් මිසක් මැතිවරණ ක්‍රමයේ වරදකින් නොවෙයි ද?

මේ ඡන්ද විමසීමේදී කාන්තාවන් 10%ක් තමයි අනිවාර්යයෙන් තරග කළේ.නමුත් 2012 පනතේ කාන්තා නියෝජනයක් තිබුණේ නෑ. 2016 සංශෝධිත පනතින් කාන්තාවන් 25% ඇතුළත් කළා. ඒ සභිකධුර ගණන ඇතුළෙ ම අනුපාතය 40% – 60% කියලා වෙනස් කරනකොට, ඒ හරහා කාන්තාවොත් 40% ටම ඇතුළත් වුණා. එතකොට 25%ක් අනිවාර්යයෙන් ම කාන්තාවන් ඉන්න ඕන කියනකොට, අපි මැතිවරණ කොමිසම විදිහට යෝජනා කළා, මේ 25%ම ලැයිස්තුවේ හිටියොත් ප්‍රශ්නයක් මතු වෙනවා, අඩුම තරමේ 15% – 20%ක් වත් තරග කරන්න දැම්මොත් ප්‍රශ්නය ටිකක් මඟහැරෙනවා කියලා. එතැනදීත්, තරග කරන්න කාන්තාවන් හොයාගන්න බැරිවෙයි කියලා සමහර පක්ෂවලින් මතයක් ආවා.

එහෙම තර්කයකුත් ඇවිත් පස්සෙ 10%ක් පමණක් තරග කරන්න දාන්න එකඟ වුණා. ඒ 10% හරි තරග කරපු නිසා තමයි ඉතිරි 15% ලැයිස්තුවෙන් දාලා හරි බේරගන්න පුළුවන් වුණේ. නැත්නම් 25% ලැයිස්තුවෙන් පත් කරන්න වුණානම් ඒක මහ ගැටලුවක් වෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩි වුණ කාන්තා ප්‍රතිශතය පිළිබද ඔබේ අදහස කුමක්ද ?

ඒ ඡන්ද විමසිමේ සතුටුදායකම කරුණු තමයි කාන්තාවන් පන්සිය තිස්පහක් (535) දිනලා තිබීම. ඒ අනුව බැලුවාම දිනපු සභිකයන්ගෙන් 10%ක් කාන්තාවන් ඡන්දෙන් දිනලා ඇවිත් තියෙනවා. වෙනදා ලංකාවේම පළාත් පාලනයේ කාන්තා නියෝජනය තිබුණේ, 1.9%ක්. ලෝකයේ පළාත් පාලනයේ කාන්තා නියෝජනය අවම රටවල් දහය අතරින් එකක් විදිහට තමයි අපේ රට තිබුණේ.

1931 අපිට සර්වජන ඡන්ද බලය ලැබිලා මාසයක් යනකොට මන්ත්‍රීවරියක් පාර්ලිමේන්තුවට තේරිලා ආවා‚ මහ ඡන්දෙන් පස්සේ ඇතිවුණ පුරප්පාඩුවක් පිරවීමට. නමුත් අවුරුදු එකසිය පනහකට විතර පස්සෙ තමයි කොළඹ නගර සභාවේ නගරාධිපතිධුරයට කාන්තාවක් ආවේ.ජනාධිපතිනියක්, අගමැතිනියක්, අගවිනිසුරුවරියක්, නීතිපතිවරියක්, දිසාපතිනියන්, අමාත්‍යාංශ ලේකම්වරියන් අපේ රටේ හිටියා. ඒත් 1931 ඉදලා 1969 වෙනකල් අවුරුදු 38ක් ගියා පළමුවැනි නගර සභාපතිනිය බිහි කරන්න. 1931 ඉඳලම 2018 වෙනකම් ප්‍රාදේශීය දේශපාලනයේ අවම කාන්තා නියෝජනයක් තමයි තිබුණේ.

ඔබ කියන්නේ මේ ප්‍රශ්නය විසඳගන්න, සභාවලට තරග කරන කාන්තාවන් ප්‍රමාණාත්මකව වැඩි කරන්න ඕන කියල ද?

ඒක එක පියවරක් විතරයි. එහෙම කරලා විතරක් මේ කාන්තා නියෝජනය විසඳන්න බෑ. කාන්තාවන් දේශපාලන ක්‍රියාකාරිනියන් වෙන්න ඕන. අපි යෝජනා කරලා තියෙනවා දේශපාලන පක්ෂවල නිලධාරී මණ්ඩලයට අඩුම තරමේ පහෙන් එකක්වත් කාන්තාවන් ඇතුළත් කරගන්න කියලා. සමහර දේශපාලන පක්ෂ තියෙනවා, ඒවායේ නිලධාරී මණ්ඩලයේ එක කාන්තාවක්වත් නෑ. පිළිගත් දේශපාලන පක්ෂ හැත්තෑවෙ නිලධාරීන් 675ක් විතර ඉන්නවා. ඒත් කාන්තාවන් ඉන්නේ 50-55ක් අතර ප්‍රමාණයක් විතරයි.

කාන්තාවන් දේශපාලනයට, පොදු සමාජයීය සංවිධානවලට එන්නැති තාක් කල් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. මං හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධ දිනපතා පුවත්පත්වලින් එක පුවත්පතක විතරයි කාන්තාවක් දැනට කර්තෘ ධූරය දරන්නේ. මෙයට කලිනුත් එක් අයකු හෝ දෙදෙනෙකු හිටියා වාගේ මතකයි. ඒ වගේම තමයි වෘත්තීයවේදීන්ගේ සංගම්වල සභාපති, ලේකම් තනතුරුවලට කාන්තාවන් ඇවිත් නෑ. අඩුම තරමේ මිශ්‍ර‍ පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල ලේකම් තනතුරකටවත් කාන්තාවන් එන්නෙ නෑ. සරසවි ශිෂ්‍ය ව්‍යාපාරවලත් ප්‍ර‍මුඛ සහෝදරියන් නැහැනේ. ඒ නිසා කාන්තා නියෝජන ප්‍රශ්නය තියෙන්නේ අපි ළඟ නෙවෙයි, සමාජය තුළමයි එය තියෙන්නේ. ඒක මඟහරවා ගන්න සමාජය ක්‍රියා කරන්න ඕනෑ.

පසුගිය මැතිවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම්වලට සභා පිහිටුවන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකත් අර්බුදයක් නේද?

1979 ඉදලා මේ වෙනතුරු තිබුණ සමානුපාත නියෝජන ක්‍රමය යටතේ වැඩියෙන් ඡන්ද ගන්න පක්‍ෂයට බලය පිහිටු වීම ගැටලුවක් වුණේ නැහැ බෝනස් තිබුණ නිසා. 2011 ඡන්දෙදි කොළොන්න නගර සභාවේ බුලත් කොළයයි, අලියයි අතරේ එක ඡන්දයක වෙනසක් තමයි තිබුණේ. ඒ සභාවේ ආසන සංඛ්‍යාව 15යි.

ඒක බෙදුණේ 9යි 6යි විදිහට. නමුත් කොට්ඨාස ක්‍ර‍මය තිබුණ කාලේ ඒ කියන්නේ 1969 වෙනකම් මේ තත්ත්වය මෙයට වඩා වෙනස්. ඒ කාලෙත් අද පවතින මේ තත්ත්වය තිබුණා. එදත් සභාපති තෝරනකොට හංගනවා, උස්සනවා, නෑකමට දෙනවා, කුසපත් ඇදලා තියෙනවා, සභාවල පක්ෂමාරු කිරීම ඒ කාලෙත් තිබුණා.

1969 කොළඹ නගර සභාව UNP එක දිනුවා UNP සභාපති පසු ශ්‍රි ලංකා එකට බැඳුනා. ඒ කාලෙත් පක්ෂ මාරු වීම් තිබුණා. මේ දේත් හරි හෝ වැරදි කියන්න මට බෑ. නමුත් අපේ රටේ පක්ෂ/ කණ්ඩායම් එකතු වෙලා වැඩක් කරනවා කියන එක දකින්න නෑ. ගොඩක් වෙලාවට තනි පක්ෂයේ මතයට දුවන කණ්ඩායමක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒක ලංකාවේ සංස්කෘතියේ ක්‍රමයක් වෙන්නැති, ඒත් ඒ ගැන මට විවේචනය කරන්න බෑ.

පළාත් පාලන පනත ගේනකොට ජවිපෙ කිව්වා නේද පක්ෂ මාරු කළහොත් මන්ත්‍රීධූරය අහෝසි කරන්න ඕන කියලා? ඒ කාරණයට අනුමැති ලැබුණේ නෑ නේද?

ඒක දැනටත් තියෙනවා. පක්ෂය මාරු කරලා යන කෙනා පක්ෂයෙන් නෙරපුවොත්, මන්ත්‍රීධූරය රැක ගන්න අධිකරණයට යන්න ඕන. අධිකරණ තීන්දුවක් ලබාගත්තේ නැතිනම් මන්ත්‍රී අහෝසි වෙනවා.

ඉදිරි පළාත්සභා හා පාර්ලිමේන්තු මැතිවරණය තියන්නේ මොන ක්‍රමයට ද?

දැනට තියෙන පනතට අනුව නම් ඒ පළාත්සභා ඡන්ද විමසීම මිශ්‍ර ක්‍රමයට තියන්න ඕන. පාර්ලිමේන්තු මහ මැතිවරණ ක්‍ර‍මය වෙනස් වෙලා නැහැ. පසුගිය නොවැම්බර් 2 දා නාම යෝජනා කැඳවන්න තිබුණා. පළාත් සභා ඡන්ද විමසීම පවත්වන්න අපි බලාගෙන ඉන්නේ, පාර්ලිමේන්තුවට දාලා තියෙන පළාත් සභා සීමා නීර්ණය වාර්තාව සම්මත වෙලා එයි කියලා.

ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත වුණේ නැත්නම්, අග්‍රාමාත්‍යවරයා ගේ කමිටුවකින් නැවත සමාලෝචනය කරන්න පුළුවන්. ඒක කවදට කලින් කරන්න ඕනද කියලා දැනුම් දීලා නෑ. මම විශ්වාස කරනවා ඒක ප්‍රමාද කරන එකක් නෑ කියලා. තවදුරටත් ඡන්දය කල් යන එක වළක්ව ගන්න අපි ඒ තුළ තියෙන අඩුපාඩු කිය කිය යන්න යන්නෙ නෑ. අපි බලාපොරොත්තු වෙනවා, මැයි මාස 2 වැනිදා වෙනකොට පළාත් සභා ඡන්ද විමසීම පවත්වන්න, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අවධානය යොමුකර වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.

පැවැති මැතිවරණයේ මිශ්‍ර හා සමානුපාතික ක්‍රමය සාර්ථකයි කියලා ඔබ විශ්වාස කරනවා ද? මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාදයටත් එය බලපෑවද?

ඡන්ද විමසීමේ ප්‍රතිඵල ජනමාධ්‍ය හරහා මුළු රටටම ලබා දීම ප්‍රමාද වුණේ ඡන්ද ක්‍රමය නිසා නෙවෙයි. ඒක අපේ පරිගණක පද්ධතිය බිඳ වැටුණ නිසා සහ දත්ත ඇතුලත් කිරීමේ ක්‍රමවේදයේ ගැටළු නිසා සිදු වුණ දෙයක්. ඒත් බොහෝ ගම් මට්ටමේ ප්‍ර‍තිඵල එදින රාත්‍රියේ 8 වෙනකොට ඒ ඒ ප්‍රදේශවාසීන් දැනගෙන හිටියා. ලෝකයේ තියෙන ඡන්ද ක්‍රමවලින් තමන්ගේ කොට්ඨාසයට මන්ත්‍රීවරයෙක් ලැබෙන‚ ඒ වගේ ම සෑම ඡන්දයකටම සමානකමක් ලැබෙන සමානුපාතික ක්‍රමය යන ක්‍ර‍ම දෙකේම සංකලනයක් ඕනෑනම් මිශ්‍ර සමානුපාතික නියෝජනය ක්‍රමය තමයි ඒ සඳහා හොඳම ක්‍රමය. මේ ක්‍රමයේ ප්‍රායෝගික ගැටලු කිහිපයක් තියෙනවා. නමුත්, ලෝකයේ 100% ප්‍රශස්ත ක්‍රමයක් කොහෙවත් නෑ.

1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රීලනිපය කොට්ඨාස 15යි ගත්තේ. නමුත් සමානුපාතය මන්ත්‍රීධූර 50කට වැඩිය ලැබුණා. සමානුපාතය නොතිබුණා නම්, එනම් , තනි කොට්ඨාස ක්‍රමය පමණක් තිබුණා නම් 1989 දීත් විපක්ෂ නායකත්වය ශ්‍රීලනිපය ට අහිමි වෙන්න තිබුණා. මිශ්‍ර සමානුපාතික ක්‍රමය තුළ එවැනි දෙයක් සිදු වෙන්නෙ නෑ.

මේ රටේ මැතිවරණ හා දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය ගැන මොනවද කියන්නේ?

දේශපාලන පක්ෂවල ප්‍ර‍තිපත්ති ගැන කියන්න මට බෑ. නමුත්, දේශපාලන පක්ෂ සාමාන්‍ය කාලයේ දී ගමේ දේශපාලනයක් නොකර මැතිවරණයකදී පමණක් ගමේ දේශපාලනය කිරීම වෙනුවට‚ නිරතුරුවම දේශපාලන වශයෙන් මහජනයා දැනුවත් කිරීම් කරනවා නම් හොඳයි. අපි පොඩි කාලේ හැම පක්ෂයකින්ම දේශපාලන සම්මන්ත්‍රණ තිබුණා. ගම්වල දේශපාලන පක්ෂවල සමිති සමාගම්‚කාර්යාල තිබුණා.

එදා දේශපාලන පක්ෂවල සාකච්ඡා තිබුණා. අද රටේ දේශපාලනය හෝ ලෝක දේශපාලනය ගැන කවුරු හරි කතා කරන්නේ විභාගයකට ඕන කරුණු ගොනු කරන්න විතරයි. අද සමාජයෙන් දේශපාලනය ගිලිහිලා ගිහිල්ලා. දේශපාලන පක්ෂවලටවත් දේශපාලනය කරන්න වෙලාවක් නෑ. උදාහරණයක් ගත්තොත් අපි දේශපාලන පක්ෂවලට කියනවා ග්‍රාම නිලධාරින් ඡන්ද හිමි නාම ලේඛන හදන එක නිරීක්ෂණයට පක්ෂ නියෝජිතයින් එවන්න කියලා. ඒත් එවන්නෙ නෑ. දේශපාලනය සම්බන්ධයෙන් හැමෝම ඒ කියන්නෙ පුරවැසියන් හිතාගෙන ඉන්නේ ඒක දේශපාලනඥයන්ගේ වැඩක් කියලා විතරයි. අපේ වැඩක් නෙවෙයි කියලා.දේශපාලනය මහජනතාවගේ වැඩක් කියලා හිතමින් ජනතාව දේශපාලනය කරනතාක් කල් රටක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය සාක්ෂාත් කරන්න බෑ. අපට දේශපාලනික පුරවැසියන් අවශ්‍යයි .

පළාත් පාලන පනත සම්මත කරගෙන මැතිවරණයට ගිහින් ඇවිත් අඩුපාඩු හදා ගමු කියපු පක්ෂ අද ඒ ගැන කතා කරන්නෙ නෑ නේද?

එහෙම සකස් කරගන්න තරම් සුදුසු වාතාවරණයක් පෙබරවාරි 10 ඡන්දෙන් පස්සෙ තිබ්බෙ නෑ. ඒ නිසා මම විශ්වාස කරනවා, තව ටික කලකින් හැම දේම හොඳ අතට හැරෙයි කියලයි. අපි ගඟ බඩ, මුහුදු බඩ ජීවත් වෙන, ඒ හින්දා ඔරුව පෙරළුණොත් පිට පැත්තේ නැගලා හරි ගොඩට එන්න ඕන නැත්නම් පීනලා ගොඩට එන්න කියලා හිතන මිනිස්සු අපි. ඒ හින්දා අයහපතක් නොවී හොඳ දෙයක් වෙයි කියන මතයේ මම ඉන්නවා.

 

ජනතාව තෝරලා එවන කෙනාට තනතුර නොලැබෙනවා නම් ජනතාව දේශපාලනය කරන්නේ නෑ නේද?

ප්‍රයිවෙට් බස් එකේ ටිකට් එක නොදුන්නම,අපි අපේ අයිතිය වෙනුවෙන් ටිකට් එක ඉල්ලනවාද නෑ. අපි ළමයින්ට දේශන කරලා දේශනය අහන්ඉන්න ළමයින්ට, තරුණයින්ට ප්‍රශ්න කරන්න උගන්වලා තියෙනව ද?නෑනේ. අපි හදන්න ඕන ප්‍රශ්න කරන සමාජයක්, වෙනසට කැමැති සමාජයක්. මැතිවරණ කොමිෂන් සභාව දැන් මැතිවරණ තියන එක විතරක් නෙවෙයි කරන්නේ. දේශපාලනය ,දේශපාලකයින්ට පමණක් අයිති දෙයක් නෙවෙයි දේශපාලනය කරන එක ජනතාවගේ වැඩක් කියලා ජනතාව දැනුවත් කිරීමත් කරනවා. සැබෑ දැනුම්වත් පුරවැසියන් හදන එක තමයි අපි කරන්න යන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here