රනිල් හෙට අගමැති පුටුවෙ ද ? නිකන් පුටුවෙ ද ?

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ චෝදනා 13ක් ඇතුළු චෝදනා 14ක් මුල් කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය හා ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (04) පැවැත්වේ.

මෙම විශ්වාසභංගය මුල් කර ගනිමින් පිල් මාරු කිහිපයක් ද අද (04) දින සිදුවීමට ඉඩ ඇති අතර මේ හේතුවෙන්ම අද දින පාර්ලිමේන්තුව ඉතා උණුසුම් ස්වභාවයක් ගනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග අනුමාන කරයි.

කෙසේ වෙතත් අද දින පෙරවරු 10.00ට ආරම්භ වන මෙම විශ්වාසභංග විවාදය රාත්‍රී 9.00 දක්වා පැය 12කට ආසන්න කාලයක් පැවැත් වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම ඉන් අනතුරුව රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙනු ඇත.

සෙංකෝලය පැහැරගෙන ගොස් අද දින පැවැත්වෙන මෙම විශ්වාසභංග විවාදය කඩාකප්පල් කිරීමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටින බවට ද සැක මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර සිටී.

මෙම ඡන්ද විමසීම දැනට පවතින ඉලෙක්ටේ‍රානික ක්‍රමයට සිදු නොකර පැරණි ක්‍රමයට(මන්ත්‍රීවරුන්ගේ නමින් විමසීම) සිදු කිරීමට මේ වන විට කථානායකවරයා විසින් තීරණය කර ඇත.

මෙම විශ්වාසභංගය සම්බන්ධව ඊයේ (03) පෙරවරුවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එයට මංගල සමරවීර,මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න,කබිර් හෂීම් යන අමාත්‍යවරුන් ද එක්ව ඇත.

අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරේදා (2) ගත් තීරණය පිළිබඳව රාජිත සේනාරත්න මහතා මෙහිදී ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවැනි අවසන් තීරණයකට පැමිණ නොමැති බවකි.

ආණ්ඩුවේ බලය රැකගෙන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව මංගල සමරවීර අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත කරුණු දක්වා ඇත.

විශ්වාසභංගයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදුකිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂය මෙහිදී යෝජනා කර ඇත.
ඒ අනුව නව කැබිනට්ටුව ලබන 09 වැනි දින පත් කළ යුතු බව මලික් සමරවික්‍රම මහතා යෝජනා කර ඇත.
ජනාධිපතිවරයා මෙම යෝජනාවට එකඟතාව පළ කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම කැබිනට් සංශෝධනය විද්‍යාත්මක ආකාරයකට සිදුකළ යුතු බවට ද මෙහිදී වැඩිදුරටත් එකඟතාවයකට  පැමිණ ඇත.

ඊයේ (03) පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අගමැතිවරයා හමුවී පෙරේදා (02)රාත්‍රීයේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය දැනුම් දී ඇත. ඒ අනුව විශ්වාසභංගයට පෙර අගමැතිවරයා සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු බව එහිදී ශ්‍රීලනිප අමාත්‍යවරුන් යෝජනා කර ඇත.

මෙහිදී එජාප අමාත්‍යවරුන් මෙම යෝජනාව සම්බන්ධව දැඩි විරෝධතාවක් පළ කර ඇති බවද වාර්තා වේ. අගමැතිවරයා ද මෙම යෝජනාව පිළිගෙන නොමැති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද ඊයේ (3) සවස පැවැති අතර එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත්තේ අද (4) දින උදෑසන 9.00 සිට රාත්‍රී 9.30 දක්වා අඛණ්ඩව පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙසයි.

තමාද අද දිනය පුරාම පාර්ලිමේන්තුවේ රැඳී සිටින බව රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත.
මෙම විශ්වාසභංගයට අදාළ කටයුතු අද (04) දින පාර්ලිමේන්තුව තුළ මෙහෙයවීම සඳහා මන්ත්‍රීවරු තිදෙනකුට භාරදීමටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පියවරගෙන ඇත. ඒ අනුව විශ්වාසභංගයට අදාළ ව ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මෙහෙයුමක් අද (04) දින ක්‍රියාත්මක කරනු ලබන බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඊයේ (03) වන විටද මේ සම්බන්ධව අවසන් තීරණයකට පැමිණ තිබුණේ නැත.

මේ අතර විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානය කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

එම කොන්දේසි ඉටු කරන බවට ලිඛිත ‍පොරොන්දුවක් ලබා දෙන ලෙස ද ද්‍රවිඩ ජාතික සන්ධානය ඊයේ (03) අගමැතිවරයා හමුවේ දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වන විටද අගමැතිවරයා මෙම ලිඛිත ‍පොරොන්දුව ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත ලබාදී නොතිබිණි.එනමුත් එම ලිඛිත ‍පොරොන්දුව ලැබුණහොත් විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය මේ වන විටත්  තීරණය කරගෙන ඇති බව විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග අපට වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here