ආණ්ඩුකාරවරුන් සියල්ලන්ට ම මාරුවක් ?

සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළදී සිදු කිරීමට යන බවත් ඒ අනුව ලබන 06 වන දින නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට නියමිත බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බොහෝ දුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමය.
ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඒ අනුව වහාම මෙම වෙනස් කිරීම් සිදු කිරීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.
ඒ අනුව බොහෝ දුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීම ය.
මෙම වෙනස් කිරීමට හේතු වී ඇත්තේ එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම බවද පැවැසේ.
 උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි පළාත් කිහිපයක ම පළාත් මහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත්වලින් සහ විශේෂයෙන් ම නැවත වරක් උතුරු පළාතෙන් ද රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
එනමුත් රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර දැනට ගත වී ඇත්තේ වසර දෙකක් පමණි.
නමුත් එම කාලය තුළ උතුරු ප්‍රදේශයේ සංවර්ධනයට සහ සංහිඳියාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කිරීමත්, උතුරු – දකුණු සංහිඳියාව ඇති කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීමත් හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට විශාල ජනතා ප්‍රසාදයක් හිමිව ඇතැයි උතුරු පළාත් මන්ත්‍රීවරු පවසති.
මේ හේතුවෙන් උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් නැවත වරක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව සහ වාචිකව ඉල්ලීමක් සිදු කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මේ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය සබරගමුව පළාතට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මාරු කිරීමට නියමිත ය.
ඇය මෙම තනතුරට පත්වූයේ 2015 ජනවාරි මස 8 වැනිදායින් පසුව ය.
ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ලබන මස 6 වැනි දින සබරගමුව පළාත් සභාවේ වැඩ භාරගැනීමට නියමිත බව ද වාර්තාවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here