රනිල්ට එරෙහි වුණ චෝදනා 14.

0
235

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට චෝදනා දාහතරක් යටතේ හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායකවරයා වෙත විශ්වාසභංග යෝජනාවක් භාර දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලමේන්තුවේ කතානායකවරයාගේ නිළ කාමරයේදි මෙම විශ්වාසභංග යෝජනාව පස්වරු 2.35 ට පමණ භාරදුන්නේය.

මෙම විශ්වාසභංග යෝජනාවට ඉඩම් රාජ ඇමති ටි. බි. ඒකනායක, රාජ්‍ය කළමනාකරණ හා පරිපාලන නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සහ ආණ්ඩු පක්ෂ ශ්‍රීලනිප මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇත.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51 දෙනෙකු අත්සන් කළද මහින්ද රාජපක්ෂ, සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අත්සන් කර නොමැත.

දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්ෂ, වාසුදේව නානායක්කාර, විමල් විරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, රංජිත් ද සොයිසා, මහින්දානන්ද අලූත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, ජාන වක්කුඹුර, කනක හේරත්, තාරක බාලසුරිය, ඉන්දික අනුරුද්ධ, විමලවිර දිසානායක, බන්දුල ගුණවර්ධන, නිරෝෂන් පේ‍ර්මරත්න, ඩි.වි චානක, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, සිසිර ජයකොඩි, පියල් නිශාන්ත, ප්‍රේමලාල් ජයසේකර, විදුර වික්‍රමනායක, සි.බි රත්නායක, රමේෂ් පතිරණ, දිලූම් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල, කාජචන විජේසේකර, ඩුලිප් විජේසේකර, විජිත බේරුගොඩ, සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, පියංකර ජයරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස්.එම් චන්ද්‍රසේන, පද්ම උදයශාන්ත, මොහාන් පි. ද සිල්වා, චන්ද්‍රසිරි ගජධිර, නිමල් ලන්සා, ප්‍රසන්න රණවිර යන මන්ත්‍රීවරු විශ්වාසභංගයට අත්සන් තබා තිබේ.

අගමැතිවරයා කෙරෙහි විශ්වාසය භංගවිමට හේතුවූ කරුණු දාහතර මෙසේය.

බැදුම්කර වංචාවක් සිදු කිරිමේ අරමුණින් සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර අගමැතිවරයා එය තමන් යටතට පත් කර ගැනීම, ශ්‍රී ලංකා පුරවැසියෙකු නොවුනද අපකිර්තිමත් ඉතිහාසයක් ඇත්තාවූ ද බැදියාවන් අතර ගැටුමක් ඇත්තාවූද අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරයට යෝජනා කිරිම,

මහ බැංකු බැදුම්කර වංචාවට පැහැදිලි ලෙස සම්බන්ධවීම,

එම වංචාවේ වංචනිකයන් බේරා ගැනිම සඳහා තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විත පිටිපන කමිටුව පත්කර එකී වංචනිකයන් බේරා ගැනිමට උත්සාහ කිරිම,

බැදුම්කර වංචනිකයන් ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමඟ යැවිම,

බැදුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටුව විමර්ශනය කරමින් සිටියදි එම කමිටුවේ මන්ත්‍රීවරයෙකු වෙනස් කර නව සාමාජිකයෙකු පත්කර එම කාරක සභාව හරහා චුදිතයන් නිදොස් කිරිමට උත්සාහ කිරිම,

කෝප් කමිටු සාමාජිකයන්ට බලපෑම් කිරිම, බැදුම්කර වංචාවට සම්බන්ධ බවට ජනාධිපති කොමිසමේදි හෙළිවූ නියෝජ්‍ය අධිපති පි. සමරසිංහ යන අයට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදිම සඳහා ඇමති මණ්ඩලයට නිර්දේශ කිරිම,

මහ බැංකු අධිපතිධූරයට වෙනත් අයෙකු පත්කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරද්දි නැවත මහේන්ද්‍රන් මහතා එම ධූරයට පත්කර ගැනිමට වෑයම් කිරිම,

මහබැංකු අධිපති තනතුර අහිමිවූ පසුවද මහේන්ද්‍රන් මහතාව සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදිම,

අර්ජුන මහේන්ද්‍රන් මහතාට විදේශගතවී අධිකරණය මඟහැර සිටීමට අවස්ථාව සැලසීම,

ශ්‍රී ලංකා මහබැංකුව තමන් යටතට පත් කර ගනිමින් මූල්‍ය පාලනය පිළිබඳ අණපනත් උල්ලංඝනය කිරිම,

රටතුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත් කිරිම චෝදනා වේ.

ඊට අමතරව නිතිය හා සාමය පිළිබඳ ඇමතිධූරය දරමින් මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ ජන ජිවිතය ආරක්ෂා කිරිමට ක්ෂණික පියවර ගැනීමට අසමත්වීමෙන් ජිවිත හා දේපොල හානි සිදුකර ජාතික සමගිය බරපතල ලෙස පළුදු කරමින් ජාත්‍යන්තරය හමුවේ මෙරට ප්‍රතිරූපයට කැළැල් ඇති කිරිමේ චෝදනාවද විශ්වාසභංගයට ඇතුළත් කර ඇත.

මෙම කරුණු යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අගමැති ලෙසද කැබිනට් ඇමතිවරයෙකු ලෙසද කටයුතු කිරිමේ හැකියාව පිළිබඳ විශ්වාසයක් නැති බව සහ වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දරන ආණ්ඩුවට කටයුතු කිරිමේ හැකියාව පිළිබඳව විශ්වාසයක් නොමැති බව යෝජනා කරන බවද මෙම යෝජනාවේ දැක්වේ.

මෙම විශ්වාසභංග යෝජනාව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ භාර දෙන 47 වෙනි විශ්වාසභංග යෝජනාව වේ. අගමැතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් කළ තුන්වැනි විශ්වාසභංග යෝජනාව මෙයවේ. 1949 සැප්තැම්බර් 09 දා ප්‍රථම විශ්වාසභංග යෝජනාව ඇමතිවරුන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබේ. අගැමැතිවරයෙකුට එරෙහි පළමු විශ්වාසභංග යෝජනාව භාරදී ඇත්තේ 1957 සැප්තැම්බර් මස 04 වෙනි දින එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාට එරෙහිවය. ඉන් පසුව 1975 දෙසැම්බර් 23 වෙනි දින අගමැතිධුරයේ සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාරදි ඇති අතර මෙය තුන්වැන්න වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here