මහින්දගේ මූණටම කිරිඇල්ල කීව කතාවෙන් සභාව උණුසුම්.

0
550

පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට පවතින නිදහස උපයෝගි කර ගනිමින් ස්වාධින අධිකරණයට ප්‍රහාර එල්ල කිරිම වරදක් බව හිටපු ජනාධිපති, කරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සමාජ සවිබල ගැන්විම් හා සුබ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් පිළිබඳ විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අදහස් දැක්වූ අවස්ථාවේදිය.

දිනේෂ් ගුණවර්ධන මහතා – රන්ජන් රාමනාක නියෝජ්‍ය ඇමතිවරයා මේ සභාවේදි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විසින් ක්‍රියාවට නංවන්නේ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – මේක පාර්ලිමේන්තුව අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තවම දන්නේ නැහැ මේ ගොල්ලෝ.

මහින්ද රාජපක්ෂ මහතා – පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා එක් අවස්ථාවකදි කළ ප්‍රකාශයකට රුපියල් පනස් දහසක් දඩ ගැහුවා. පාර්ලිමේන්තු නිදහස පාවිච්චි කරලා ස්වාධින අධිකරණයට මෙහෙම පහර දෙන එක වැරදියි. ඒ අවස්ථාවේ මුලසුන විසින් එය නතර කළ යුතුව තිබුණා. එහෙම නම් ශ්‍රේෂ්ඨාධිකරණයට, විනිසුරුවරුන්ට එරෙහිව වෙනම යෝජනාවක් ගෙනැවිත් විවාද කළ යුතුයි.

පාර්ලිමේන්තුව මීට වඩා උසස් ලෙස කටයුතු කළ යුතුයි. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේට දඩ ගැහුවේ නැහැ. මම එදා සභාවේ සිටියා. පිනට දෙන්න කියලා තමයි කිව්වේ. මෙයාලා තමයි අගවිනිසුරුවරිය එළෙව්වේ. ඔබතුමා අගවිනිසුරුවරිය එළවා දැම්මා. (සභවේ ඝෝෂා) ඔබතුමා තමයි එළෙව්වේ. මේ අය තමයි එළෙව්වේ.

විමල් විරවංශ මහතා – රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා විනිසුරුවන්ගේ නම කිය කියා චරිත ඝාතනය කළා. කාගෙවත් චරිත ඝාතනය කරන්න නොවේ පාර්ලිමේන්තුව තියෙන්නේ.

අශෝක ප්‍රියන්ත මහතා – රටේ මුලික අයිතිය උල්ලංඝනය කරලා මෙතුමා පාස්පෝට් දෙකක් ගත්තා

බන්දුල ගුණවර්ධන මහතා – ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති නොකළ යුතුයි.

කතානායක – මම මේ ගැන සොයා බලන්නම්.

මඳ වේලාවකට පසු සභා ගැබට පැමිණි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමානායක මහතා – මා සභාවේ නැති අවස්ථාවේදි ඊයේ මා කළ ප්‍රකාශයට වැරදි අර්ථකතනයක් හිටපු ජනාධිපතිවරයා දී තිබුණා. මම කිසිම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නම් ප්‍රකාශ කළේ නැහැ. අධිකරණයට, නීතියට මා අපහාස කළේවත් අභියෝග කළේව ත් නෑ. මා ඊයේ කී සෑම වචනයකම වගකීම මා භාර ගන්නවා. කිසිවක් ඉල්ලා අස්කර ගන්නේ නැහැ. මිනිමරුවන්, කුඩුකාරයන් හොරුන් ඉන්නේ එළියේ. දේශපාලකයන් හා පුජ්‍ය පක්ෂය, ජනතාවගේ වරදින් මේ වැරදිකරුවන් එළියේ ඉන්නා බව තමයි මගේ කතාවේ මුඛ්‍ය අර්ථය වුනේ. නීතිඥයින් හොරුන්ව බේරන නිසාත් සමහර භික්ෂුන් වහන්සේලා හොරුන් වෙනුවෙන් පිණ්ඩපාතේ වඩින නිසාත් තමයි හොරු එළියේ ඉන්නේ. ඒ බව මා නැවත නැවතත් ප්‍රකාශ කරනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here