නාමයෝජනා අවුලක් නිසා බැසිල් – විමල් අතර මත ගැටුම්

0
331

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාලව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමේ වගකීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා තිබේ.

ඒ අනුව විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින්ට නාමයෝජනා ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් හටගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

“පොහොට්ටුවෙන්“ දිවයින පුරා පිහිටි පළාත් පාලන ආයතනවලට තරඟ කිරීමට ජාතික නිදහස් පෙරමුණේ අපේක්ෂකයින් 400කට අවස්ථාව සලසා දෙන මෙන් එම පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබේ. නමුත් ඒ සඳහා දැඩි ප්‍රතිචාරයක් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ එම ඉල්ලීම ඉටු කිරීමට නොහැකි බවත් අවශ්‍යනම් එම පෙරමුණෙන් අපේක්ෂකයින් 200කට අවස්ථාව ලබා දිය හැකි බවත්ය.

කිසිසේත් විමල් වීරවංශ මහතාගේ පක්ෂයට සියයට 10ක අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදිම අපහසු බවත් ජාතික නිදහස් පෙරමුණේ එවැනි විශාල ජනපදනමක් තිබේනම් තනිව තරඟ කරන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු කළ විමල් වීරවංශ මහතා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර නාමයෝජනා සම්බන්ධයෙන් ඇතිව ඇති මතගැටුම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
මෙවර පළාත් පාලන මැතිවරණයට එක් පක්ෂයකින් අපේක්ෂකයින් 8000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කළ හැකිය.

කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීම ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මේදිනවල පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here