තවත් හොර එළියට

0
272

මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් අර්ජුන ඇලෝසියස්ට හා ඔහුගේ මාමණ්ඩිය වූ අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වූ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සාමාජික මන්ත්‍රිවරුන් 05 දෙනකුට ඇලෝසියස් සමඟ පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී අවස්ථා 122කදීම දුරකතන සබඳතා පැවැත්වූ බව බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේ ඊයේ (16දා) අනාවරණය විය.

එජාප මන්ත්‍රිවරුන් 04 දෙනකු හා ශ්‍රීලනිප මන්ත්‍රිවරයකු එලෙස ඇලෝසියස් සමඟ මෙම දුරකතන කතාබහේ යෙදී ඇත.
මෙම දුරකතන සංවාද අතරින් වැඩිම සංවාද ගණනක් එනම් දුරකතන සංවාද 62ක්ම පවත්වා ඇත්තේ රාජ්‍ය ඇමැති එජාප මන්ත්‍රි සුජීව සේනසිංහ වන අතර එජාප මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි සංවාද 3ක්ද, එජාප මන්ත්‍රි හර්ෂණ රාජකරුණා සංවාද 23ක්ද, එජාප මන්ත්‍රි නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරාගේ සංවාද 02ක්ද, ශ්‍රී ලනිප මන්ත්‍රි අමාත්‍ය දයාසිරි ජයසේකර සංවාද 02ක්ද ආදී වශයෙන් මෙම දුරකතන සංවාද 122 අර්ජුන් ඇලෝසියස් සමඟ පවත්වා ඇති බව ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ අංශයේ පොලිස් නිලධාරියකු වන යසංක යෙහාන් ජයසිංහ මහතා කොමිසම හමුවේ අදාළ දත්ත අඩංගු ලේඛන ඉදිරිපත් කරමින් හෙළි කර සිටියේය.
මීට අමතරව අර්ජුන් ඇලෝසියස් හා රවි කරුණානායක අතර 2015 පෙබරවාරි මස 05 දිනත් 2017 ජුනි මස 20 වැනි දිනත් අතර පැවැත්වී ඇති දුරකතන සංවාද 387 ගැනද, 2015 පෙබරවාරි 01 දිනත්, 2016 මාර්තු 31ත් අතර දුරකතන සංවාද 84ක්ද, කෙටි පණිවුඩ  37ක්ද පැවැත් වී ඇති බවද,

අර්ජුන් ඇලෝසියස් හා රවි කරුණානායක බිරිය වන මෙලා කරුණානායක අතර එම කාලය තුළ දුරකතන සංවාද 320ක් හා කෙටි පණිවුඩ  12ක්ද කරුණානායක දියණිවරුන් වන ඔනෙලා සමඟ දුරකතන සංවාද 18ක් හා ෂෙනෙලා සමඟ දුරකතන සංවාද 05ක්ද පැවැත්වී ඇති බවද ඔහු හෙළි කළේය.
තවත් දත්ත වාර්තා රාශියක් කොමිසම හමුවට ඉදිරිපත් කරමින් සාක්ෂිකාර පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා හෙළිකර සිටියේ ඊටම නොදෙවැනි දුරකතන සංවාද රාශියක් පිළිබඳව තොරතුරුය.

එනම් 2015 පෙබරවාරි මස 27 වැනි දින පැවැති ආන්දෝලනාත්මක ප්‍රථම බැඳුම්කර වෙන්දේසිය දිනයේ එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ දුරකතනය හරහා සිදුවූ සංවාද පිළිබඳවය.

පෙ.ව. 7.39ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පළමුව තත්පරයක පණිවුඩයක්ද යළිත් තත්පර 90ක සංවාදයක්ද, ප.ව. 12.38ට අගමැතිවරයාට දුරකතන පණිවුඩ දෙකක්ද, අනතුරුව අගමැතිවරයාගෙන් දුරකතන පණිවුඩ 3ක්ද, ප.ව. 1.06ට නියෝජ්‍ය අධිපති සමරසිරිගෙන් පණිවුඩයක්ද, යළි ප.ව. 3.19ට සාගල රත්නායක ඇමැතිවරයාට පණිවුඩයක්ද, 4.22ට රවි කරුණානායකගෙන් පණිවුඩයක්ද, 4.25ට අගමැති වික්‍රමසිංහගෙන් පණිවුඩයක්ද, යළිත් ප.ව. 6.55ට හා 8.08ට අගමැති වික්‍රමසිංහගෙන් පණිවුඩ 02 ක්ද, රාත්‍රි 9.28ට රවි කරුණානායකගෙන් කෙටි පණිවුඩයක්ද, රාත්‍රි 11.07ට චන්ද්‍රසිරි නමැත්තකුට පණිවුඩයක්ද අර්ජුන මහේන්ද්‍රන්ගේ දුරකතනය හරහා හුවමාරු වී ඇති බව ඔහු, දුරකතන සංවාද තාක්ෂණික වාර්තා ඉදිරිපත් කරමින් කොමිසම හමුවේ තහවුරු කර සිටියේය.

තවත් දුරකතන සංවාද පිටපත් ගොනුවක් ඉදිරිපත් කරමින් සාක්ෂිකරු කොමිසම හමුවේ තහවුරු කර සිටියේ, 2016 අප්‍රේල් 01 වැනි දින උදේ අර්ජුන් මහේන්ද්‍රන් කොළඹ 07 දුරකතන කුලුන අවට සිට පස්වරු 1.30 වන විට ‘රමාඩා’ කුලුන අවටත්, ඉන් අනතුරුව පලාලි, යාපනය, කන්කසන්තුරේද, ප.ව. 7.56ට වැල්විටිතුරේද අප්‍රේල් 02 වැනි දින පොතුවිල්, යාපනය, මනිපායි හරහා ප.ව. 1.40ට කොළඹට පැමිණ ඇති බවත්ය.

එදින ප.ව. 2ට මහ බැංකුවට පැමිණ එහිදී පදුමනාදන් හා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්, නියෝජ්‍ය අධිපති සමරසිරි යළි පදුමනාදන්, භාණ්ඩාගාර නි. ලේකම් ආටිගල හා රුද්‍රිගු යන අය සමඟ සංවාද සිදු කොට ඇති බවද ඔහු සඳහන් කළේය. යළිත් ප.ව. 4.39ට තත්ත්පර 199ක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක කසුන් පළිසේන සමඟත් ඒ සැණින්ම යළි මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ පදුමනාදන්ට හා ප.ව. 5.07ට අර්ජුන් ඇලෝසියස්ටද, අර්ජුන මහේන්ද්‍රන් දුරකතන මඟින් කතා කොට ඇති බව ඔහු තහවුරු කර සිටියේය.
පසුදින ඉරිදා (අප්‍රි. 03) පෙ.ව. 11.23ට යළි පදුමනාදන්ටත්, මහ බැංකුවේම සරත්චන්ද්‍රටත් ඇමතුම් දී එසැණින්ම 11.26ට යළිත් අර්ජුන් අලෝසියස් අමතා ඇති බවද ඔහු වැඩිදුරටත් තහවුරු කර සිටියේය.

තවත් දුරකතන සංවාද පිටපත් සෙවුවත් කොමිසම හමුවට ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ 2016 මාර්තු මස 26 වැනි දින (රවි කරුණානායක විසින් රාජ්‍ය බැංකු ප්‍රධානීන් කැඳවූ රැස්වීම් දිනයේ) අර්ජුන මහේන්ද්‍රන්ගේ දුරකතනයේ 2 වැනි ඇමතුම පෙරවරු 8.00ට අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්ට ලබාදී ඇති බවයි.

අනතුරුව 10.04ට මුදල් අමාත්‍යාංශයේ දුරකතනයට තත්පර 186ක ඇමතුමක්ද, ප.ව. 2.11ට තත්පර 9ක හා ප.ව. 2.12ට තත්පර 53කද, 2.16ට තත්පර 4ක, 2.17ට තත්ත්පර 16ක හා 2.30ට තත්ත්පර 52ක වශයෙන් එක දිගටම අර්ජුන මහේන්ද්‍රන් දුරකතන ඇමතුම්දී ඇති බවය.

යළිත් ප.ව. 3.07ට රවි කරුණානායකටද 3.54ට ආර්. ඒ. එන්. ජයලත් නම් නිලධාරියාටද දුරකතන පණිවුඩ දී ඇති බවද ඔහු හෙළිකර සිටියේය.
පෞ/ ලේකම්වරිය සමඟ පැය 2ක් කෙටි පණිවුඩ ගහලා

මේ සියල්ලටම අමතරව විශේෂයෙන් ඔහු පෙන්වා දුන්නේ එදින සවස 4.56 සිට 6.43 දක්වා පැය 2කට ආසන්න කාලයක් අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන අමිලා දහනායක සමඟ එක දිගටම කෙටි පණිවුඩ  හුවමාරුවක් සිදුව ඇති බවත්ය.
තවදුරටත් සාක්කිකරු කොමිසම හමුවේ තහවුරු කර සිටියේ 2015.02.01 සිට 2016.10.08 කාලය තුළ අර්ජුන් ඇලෝසියස් මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුව භාරව සිටි ඉන්දික සමන් කුමාර සමඟ හුවමාරු කර ගෙන ඇති දුරකතන සංවාද ප්‍රමාණය 38ක් බවත් 2016.10.23 සිට 2017.01.20 දක්වා වයිබර් ඇමතුම් ප්‍රමාණය 448ක් බවත් ඉන් 262ක් ඇලෝසියස් විසින් යවා ඇති අතර 113ක් ඉන්දික විසින් එවා ඇති ඒවා බවත්ය. මෙ සංවාද අතුරින් සංවාද 138ක්ම පැවැත්වී ඇත්තේ රාත්‍රි 8ත් පසුදින උදේ 8ත් අතර වීම විශේෂත්වයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර තක්‍ෂිලා කුමාරි මෙනවිය සමඟ මේ දෙදෙනාම (ඇලෝසියස් හා සමන්කුමාර) අතිශය සංවේදී කෙටි පණිවුඩ විශාල ප්‍රමාණයකුත් එවැනි දුරකතන ඇමතුම් 18කුත් හුවමාරු වී ඇති බව ද ඔහු හෙළිකර සිටියේය.

ඒවා සිදුව ඇත්තේ 2016 මාර්තු මස 09 වැනිදාත් ජූලි මස 04 වැනිදාත් අතර බව ද ඔහු හෙළි කළේය.
තවද ඉන්දිකගේ සහෝදරයා වූ බදුගොඩගේ අමල් අරෝෂාන් නමැත්තා සමඟ ඇලෝසියස් අවස්ථා 69කදී සංවාද හා කෙටි පණිවුඩ 27ක් හුවමාරුව ඇති බව ද ඊට අමතරව වයිබර් පහසුකම් යටතේ සංවාද 11ක් හා වට්ස්ඇප් පහසුකම් යටතේ සංවාද 163ක්ද සිදුව ඇති බවත්, ඉන් 34ක්ම රාත්‍රි 8ත් උදේ 8ත් අතර සිදුව ඇති බවත් ඔහු හෙළි කළේය.
මේ අතර ඇලෝසියස් මහ බැංකු නිලධාරි පදුමනාදන් සමඟ 2015-02-05 සිට 2015-1106 දින දක්වා අවස්ථා 61කදී දුරකතන සංවාද පවත්වා ඇති බවත්, ඉන් සංවාද 33ක්ම පැවැත්වී ඇත්තේද රාත්‍රි 8ත් උදේ 8ත් අතර රාත්‍රි කාලයේ බවද ඔහු හෙළි කර සිටියේය.

පද්මනාදන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවට පැමිණි පසු 2016 නොවැම්බර් 24 වැනි දිනයේ තත්පර 277ක් තිස්සේ ඇලෝසියස් සමඟ සංවාදයක් සිදුව ඇති බවත් කෙටි පණිවුඩ 2ක් යවා ඇති බවත් ඔහු හෙළි කළේය.
එහෙත් 2016-10-23 වැනි දින සිට ඇලෝසියස් පදුමනාදන් සමඟ දුරකතන සංවාද 703ක් පවත්වා ඇති බවත් ඉන් 202ක්ම රාත්‍රි 8ත් උදේ 8ත් අතර සිදුවූ ඒවා බවත් ඔහු හෙළි කර සිටියේය.

2017-01-24 න් පසු එකම සංවාදයක්වත් සිදුව නැති බවද ඔහු කියා සිටියේය.
සංගරපිල්ලේ අයින්කරන් නමැති නිලධාරියකු සමඟද ඇලෝසියස් වයිබර් පහසුකම් යටතේ සංවාද 753ක් පවත්වා ඇති බවද ඉන් 396ක්ද පවත්වා ඇත්තේ රාත්‍රි 8 හා උදේ 8 අතර රාත්‍රි කාලයේ බවද ඔහු කොමිසමට හෙළි කර සිටියේය.

තවද මහ බැංකුව් සේවක අර්ථසාධක දෙපාර්තමේන්තුවේ ටී. උදයසීලන් නමැති නිලධාරියා සමඟ දුරකතන සංවාද 48ක් ඇලෝසියස් විසින් පවත්වා ඇති බවද ඔහු වැඩිදුරටත් හෙළිකර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here