ඔබ අටවැනිදා මොන තීන්දුවක් ගත්තත් පුංචි ඡන්දයේදී ගත යුත්තේ එක තීන්දුවයි –

0
362

ඔබ අට වැනිදා මොන තීන්දුව ගත්තත් ඔබ මේ අවස්ථාවේ ගත යුතුව තියෙන්නෙ එකම එක තීරණයයි. ඒ මේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය වැරැදියි. නිවැරැදි කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ සැකසීමට හැකිවෙන්නෙ මේ ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කියන එක විතරක් මම මතක් කරනවා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ මහතා එසේ පැවැසුවේ බුලත්සිංහල මදුරාවල ක්‍රීඩාංගණයේදී පැවැති රන් දියවර සාහිත්‍ය කළා මහෝත්සවයේදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

අපි මොනවා කළත් අවසානයේ අපිට අපේ රට ඉතුරු වෙන්න ඕන. මේ රට විදේශීයකරණය කරමින් රටේ සියලු සම්පත් විකුණමින් රටක් දියුණු කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.

ජනතාව පීඩනයට පත්වෙලා තියෙන අවස්ථාවක රට බෙදන ව්‍යවස්ථාවක් ගෙනැවිත් තවදුරටත් ජනතාව පීඩනයට පත්කරල තියෙනවා.
අද අපි හැමෝම කතා කරන්නේ බියර් ගැන. මෙහෙම බියර් ගැන කතා කරනකොට අපිට අමතක වෙනවා බුද්ධාගමට තියෙන ප්‍රමුඛස්ථානය නැති කරනවා කියන එක. ඒකීය වචනය ඉස්සරහට දාලා රට බෙදෙන වැඩ පිළිවෙළ ලස්සනට කරගෙන යනවා කියන එක.

ජාත්‍යන්තර භාෂා දැනුම අනාගතයේ වැදගත් වෙනවා. එක මහත්මයෙක් කිව්වා අනාගතයේ සාහිත්‍ය උත්සව ඇතිවිය නොහැකියි කියලා. මම හිතන්නේ අනාගතයේ චීන හා ඉන්දීය සාහිත්‍ය උත්සව පැවැත්වෙන කාලයක් ඒවි. එවැනි තත්ත්වයකට අද රට පත්වෙලා තියෙන්නෙ. මම යුද්ධය කළා. ඒ විතරක් නෙවෙයි, රටත් සංවර්ධනය කළා. මල නොතළා රොන් ගන්නවා කියලා කියමනක් තියෙනවනේ. මම මිනිසුන්ගෙන් බදු ගැහුවෙත් අන්න ඒ විදිහට.

අද මේ කට්ටිය ජනතාව බදු බරින් මිරිකලා දාලා බදු බරින් රට බර කරලා ඉවරයි. සමහර ඒවා කරලා තියෙන්නේ දුරදිග හිතලා බලලා. ශත විස්සක මුදලක් රුපියල් දාහකට බදු වශයෙන් අයකර ගන්නවා. බැංකුවත් දාස් ගණන්වලින් නෙවෙයි ගනුදෙනු කරන්නේ. රුපියල් කෝටි ගණනින්. ඒ කෝටි ගාණක් බැංකුවකින් ගන්නකොට අනිවාර්යයෙන්ම ලංකා බැංකුව, මහජන බැංකුව වගේ බැංකු කඩා වැටෙනවා. ඒ බැංකු කඩා වැටෙන විට මේවා තියාගෙන වැඩක් නැහැ. අලාභයි කියලා මේවා පෞද්ගලීකරණය කරනවා. විදේශිකයන්ට මේවා විකුණනවා. මේ හැම වගන්තියක් ඇතුළේම තියෙන්නේ ඔන්න ඔය පෞද්ගලීකරණය කිරීම හා විදේශිකයන්ට විකිණීමට ගෙන යන වැඩපිළිවෙළ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here