ජනාධිපතිවරුන් දෙදෙනකු රටේ සිටිනවාදැයි අපිට සැකයි

0
294

බියර් මිල අඩු කරමින් ආණ්ඩුව කිරි ඉල්ලා හඬන දරුවන්ට යහපාලන සූප්පුවෙන් බියර් පෙවීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා පවසයි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ 2018 අය-වැය යෝජනාව ඔහුගේ මංගල අය – වැය නොව සමනල අය – වැයක් බවද හෙතෙම පැවැසීය.
ඊයේ (15දා) පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා
මෙවර අය – වැය ලේඛනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ අවශ්‍යතාව සහ උපදෙස් මත ඒ අය විසින්ම සකසා දුන් වර්තමාන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ කාබන් කොපියක්. අය – වැය සම්බන්ධයෙන් ගත් විට පසුගිය වසරේ වෙන් කළ මුදල් ප්‍රමාණය භාවිත කරලා තියෙනවාද කියලා අපිට බලාගන්න පුළුවන්. එම සංඛ්‍යා දත්ත ගෙන බලන විට පසුගිය අය – වැයෙන් රුපියල් බිලියන 792ක් වියදම් කරලා නැහැ. හිටපු මුදල් ඇමැති උඩ පැන පැන කිව්වා මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තාක්ෂණික අංශය වැඩි දියුණු කරන බව. උසස් පෙළ කරන සියලු සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදෙන බව. නමුත් මේ වන තෙක් ඒ ලැප්ටොප් බෙදා දීලා ඉවර නැහැ. මේ ආණ්ඩුවේ සංවර්ධන වේගය පිළිබඳ මේකෙන්ම හිතාගන්න පුළුවන්.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අදටත් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව මුදල් අවභාවිත කරලා තියෙන නිසා රට සංවර්ධනය කරන්න බැරි බව. මේ අයගේ දෝෂාරෝපණයට ලක්වෙන සියලු ව්‍යාපෘති සඳහා පසුගිය ආණ්ඩුව වැය කරලා තියෙන්නේ රුපියල් බිලියන 390යි. මේ ව්‍යාපෘති රටේ ජනතාවට ඇස් දෙකෙන් දකින්න තියෙනවා. මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුවට විකුණගෙන කරන්න හරි හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ වගේ ව්‍යාපෘති කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 247ක් කුලිය ගෙවනවා සබීතා පෙරේරා මහත්මියගේ සැමියාගේ සමාගමකින් මිලදී ගත් ගොඩනැඟිල්ලට. එය මූල්‍ය අවභාවිතාවක්. නමුත් පසුගිය අය – වැයෙන් වියදම් නොකළ මුදල සමඟ බැලූ විට එය කැලණි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ.
බියර් මිල අඩු කරලා තියෙනවා. අද බියර් කෑන් එකක් රුපියල් 100ට ගන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ මතින් තොර නිදහස් රටක් ජාතික වැඩපිළිවෙළේ ප්‍රතිපත්ති සහ අය – වැයේ තිබෙන කරුණු එකිනෙකට පරස්පර විරෝධීයි.

දැන් ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්තියද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යළි පුබුදමු ශ්‍රී ලංකා ප්‍රතිපත්තියද. අපිට සැකයක් තිබෙනවා රටේ ජනාධිපතිවරු දෙදෙනෙක් සිටිනවාද කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here