ඇමැති සුසිල් හා එ.ජා.ප.යේ තුෂාර මැතිසබේදී හැප්පෙති -“තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න ඕන.

0
307

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු අතර ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙන් ඊයේ (15දා) දින පාර්ලිමේන්තුවේ මැතිසබය දැඩි උණුසුම්කාරී විය.

පාර්ලිමේනතුව ඊයේ දහවල් දිවා ආහාරයට නතර කිරීමෙන් අනතුරුව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අය – වැය විවාදයට සහභාගි වූයේය.
විවාදය තරමක වෙනස් ස්වභාවයකින් ආරම්භ කිරීමට සූදානම් වන බවක් පෙන්නුම් කෙරිණි. අය – වැය විවාදයට සහභාගි වෙමින් අය – වැය ගැන කතා කළත් තමාට වෙනත් ප්‍රකාශයක් සිදු කිරීමට තිබෙන බවත් එම මුළු ප්‍රකාශයනයම සභාගත කරන ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් මූලාසනයෙන් ඉල්ලීමක් කරන ලදී.
මං පසුගිය 1 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදයට සහභාගි වුණා. මගේ අධ්‍යාපන පසුබිම, දේශපාලන පසුබිම හා නෛතික දැනුම සමඟ මං එම අතුරු වාර්තාව ගැන නෛතික විග්‍රහයක් කළා. ඊට පසුවැනිදා ඒක නොතේරුණු දේශපාලනඥයකු ඉතාමත් අසත්‍ය චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්න පටන් ගත්තා. මට ඒ දේශපාලනඥයාගේ දැනුමෙන් වැඩක් නැහැ. මං කළේ මගේ දැනුම අනුව වැදගත් ආකාරයෙන් එම විවාදයට සහභාගි වීමයි.

දැන් මේ මඩ ගහන්න අලුත් වැඩක් පටන් අරගෙන. මහා සංඝරත්නය ව්‍යවස්ථාව ගැන කතා කළොත් මඩ ගහනවා. ජනාධිපතිතුමාට එරෙහිවත් මේ මඩ මෙහෙයුම ක්‍රියාත්මකයි. දැන් අපිටත් මඩ ගහනවා. අපිට මඩෙන් ගැහුවොත් අපි එන්නේ ගොඩෙන්.
‘මහාධිකරණයේ මං අවුරුදු 10ක් නීතිඥයකු ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාර සිද්ධියේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් මම’ යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා වේගවත් අන්දමින් අදහස් දැක්වීය.
ඉන් පසුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් 2012 වර්ෂයේදී තමන් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් සිටියදී මෙරටට ප්‍රමිතියෙන් තොර තෙල් නැවක් පැමිණීම ගැන පරීක්ෂණකොට ඊට අදාළ වන්දි එම සමාගමෙන් ලබාගත් බවත් ඊට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත් ආකාරයත් පෙන්වා දෙන ලදී.
‘මං රටේ නැතිවුණු වෙලාවේ මෙම තෙල් නැව පැමිණියා. එම තෙල් නිසා කාර්මික දෝෂයට ලක් වූ රථවාහවලට සහ පොම්පවලට වන්දි ලබාදීමට ක්‍රියා කළා. එම තෙල් සමාගමෙන් රුපියල් මිලියන 55ක වන්දි ලබාගැනීමට කටයුතු කළා. එම ගැටලුව විසඳුණු ආකාරය 2013 වසරේදී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටත් වාර්තා කළා. ඒ ගැන කෝප් කමිටුවත් සෑහීමකට පත්වුණා.’ යනුවෙන්ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම පැහැදිලි කිරීමෙන් අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා යළිත් ප්‍රකාශ කරන ලද්දේ තමාට එරෙහිව මඩ ප්‍රහාරයක් දියත් වී තිබෙන බවයි.
අපිට මේ මඩ ගහන්නේ සැලැසුම් සහගතවයි. මේ මඩ ගහන අයගේ පැටිකිරියයි, මේ මඩ ගහන අය මෙහෙයවන අයගේ පැටිකිරියයි අපි හොඳට දන්නවා.
ඒ සියලු පැටිකිරිය අවශ්‍ය වෙලාවට අපි හෙළි කරන්නම්. මං මේ මඩ ප්‍රහාරය ගැන අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත් දැනුවත් කළා’ යනුවෙන්ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සමඟම ආණ්ඩු පක්ෂයේ පසු පෙළ අසුන්ගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා නැඟී සිටියේ රීති ප්‍රශ්නයක් මතු කිරීමටය.
‘මෙතුමා මඩ ගැහුවා කියලා චෝදනා කරනවා. ඊට පිළිතුරක් ලබාදීමට අවශ්‍යයයි’ යනුවෙන් තුෂාර ඉඳුනිල් අමරසේන මහතා කියා සිටියේය.
මූලාසනයෙන් කියැවුණේ එය රීති ප්‍රශ්නයක් නොවන බවයි.
එය රීති ප්‍රශ්නයක් නොවන බවත් තමාට බාධා නොකර අසුන්ගන්නා ලෙසත් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී.
මං නමක් කිව්වේ නැහැ. මේ මොකද කෑගහන්නේ’ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
‘නමක් කිව්වේ නැති වුණාට මං තමයි මාධ්‍ය හමුවක් පවත්වලා එම තොරතුරු කිව්වේ’ යනුවෙන් තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
‘මං කියන දේ තේරුම් ගන්නේ නැතිනම් වාඩිවෙන්න ‘ඉඪබ ඤධඹද ඵඪබ ඤධඹද’ යනුවෙන්ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඊට තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයාද පෙරළා ප්‍රතිචාර දැක්වූ නමුත් මැතිසබයේ පැවැති ඝෝෂාකාරී තත්ත්වය නිසාත් මන්ත්‍රිවරයාගේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක වී නොතිබුණු නිසාත් කිසිවක් පැහැදැලිව ශ්‍රවණය නොවීය.

නමුත් දෙදෙනා අතර කෙටි බහින්බස් වීමක් සිදු වූ නිසා මැතිසබය තුළ ඇති වූයේ උණුසුම්කාරී තත්ත්වයකි.
මේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, සම්ප්‍රදායන් තේරෙන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ටියුෂන් ලබාදෙන්න’ යනුවෙන් යෝජනාවක් කරමින් තවත් මැතිසබය උණුසුම් කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතාය. මෙම උණුසුම්කාරී ස්වභාවයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා යම් නොසන්සුන්කාරී ස්වභාවයකින් පසුවන ආකාරයක් දක්නට ලැබිණි.

තම ජංගම දුරකතනයෙන් දුරකතන ඇමැතුමක් ලබාගත් තුෂාර ඉඳුනිල් අමරසේන මහතා ඉන්පසුව පැමිණියේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ ආසනයක අසුන්ගෙන සිටි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අසලටය. ඉන් අනතුරුව දෙදෙනා අතර ටික වේලාවක් කතාබස් කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම එම ස්ථානයට පැමිණ සිටිනු දක්නට ලැබිණි.

තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා එම මන්ත්‍රිවරයා ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය 14 වැනිදා පැමිණිලි කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
අගමැතිතුමා මේ මන්ත්‍රිතුමා කිසිදු පදනමක් නැතිව මට මඩ ගහනවා. මෙහෙම කරන්නේ ඇයි? යනුවෙන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කරන ලදී.

‘මං මේ ගැන හොයලා බලන්නම්’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය.
දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකු ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ කතාබස් කරමින් පැමිණියේය.
එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන මහතාද විවාදයට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාට පිළිතුරු ලබා දුන්නේය.
එදා බාල තෙල් නැව් ආවානම් අමාත්‍යතුමා ඉල්ලා අස්නොවී ලේකම්තුමාගේ පිටින් යැව්වා. අපේ ආණ්ඩුවේ යම් චෝදනාවක් ආපු වෙලාවේ රවි කරුණානායක ඇමැතිතුමා ඉල්ලා අස්වුණා. ලේකම්තුමාගේ පිටින් යන්න දුන්නේ නැහැ” යනුවෙන් තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා චෝදනා නැඟීය.
මේ අස්ථාවේදී නැඟී සිටි විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සම්මුතිවාදී ආණ්ඩුවක් යටතේ මෙවැනි චෝදනා කිරීම් ඇතිකර නොගන්නා ලෙසයි.
“මන්ත්‍රිතුමා මේ වෙලාවේ සභාවේ නැති අමාත්‍යවරයකු ගැන නම සඳහන් කරන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතැන කතා කරන්න එපා. ඒක වෙනම විසඳගමු යනුවෙන් විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා කළ ඉල්ලීම තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රිවරයා පිළිගත්තේය.
ඒ ගැන විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා විසින් තුෂාර ඉඳුනිල් අමරසේන මහතාට ස්තුති කරන ලදී.
කැබිනට් අමාත්‍යවරයා වූයේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාය. ඔහු සමඟ කතාබස් කරමින් පැමිණි ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වූයේ වෛද්‍ය රමේෂ් පතිරණ, ශෙහාන් සේමසිංහ සහ කාංචන විජේසේකර යන මහත්වරුන්ය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කරමින් පැමිණි සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා විදුලි සෝපානයට ඇතුළු වන විට එහි සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන මහතාය.
පාර්ලිමේන්තුව තුළ නළු නිළියන්ගේ නම් සේරම වාගේ කියැවෙන්නේ ඔවුන් මැතිසබය නියෝජනය කරන නිසාය.
පසුගිය දිනවල වැඩිපුරම නම කියැවුණු සිනමා නිළිය වූයේ ගීතා කුමාරසිංහ මහත්මියයි. ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසිවීමත් සමඟම ගීතාගේ නම මැතිසබය තුළ ඇසෙන්නට නොමැති වුවද ඉන්පසුව ‘සබීතාගේ නම මැති සබය තුළ එක්වරම ඇසෙන්නට විය. සබීතාගේ නම මැති සබය තුළ ඇසුණද ඇය තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් නම් නොවේ. නමුත් ඇයගේ නම ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු විසින්ම මතක් කරන ලදී.
“කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනවායි කියමින් සබීතාගේ බිල්ඩිමට විශාල මුදලක් නිකරුණේ වැය කරනවා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා විසින් පෙන්වා දෙන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතාද ඊයේ දින සබීතාගේ නම මැතිසබයේදී සිහිපත් කරන ලද්දේ අය වැය විවාදයට සහභාගි වෙමිනි.

“කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යනවයි කියමින් සබීතාගේ මහත්තයාගේ බිල්ඩිමට මාස තුනේ විදුලි බිල විතරක් රුපියල් ලක්‍ෂ 49ක් ගෙවලා” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිහාල් ගලප්පත්ති මහතා චෝදනා කළේය.
මේ අතර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකුගේ “ඩීල්” දාගැනීමේ කතාවක් හේතුවෙන් ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් කතාවක් ඇතිවිය.
දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා කියා සිටියේ අය වැයෙන් මුදල් වෙන් කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු අතර “ඩීල්” එකක් සිදුවී ඇති බවයි.

“නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ විෂයයන් දෙකක් වෙළෙඳ වාණිජ කටයුතු අමාත්‍යාංශයට වෙන්කරලා අය – වැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. අමාත්‍යවරුන් දෙදෙනකු අතරේ ඩීල් එකක් දාගෙන තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉදිරිපෙළ ඉන්න කැබිනට් අමාත්‍යවරයකු මේ ගැන ප්‍රකාශ කළා. හකීම් ඇමැතිතුමත් මේ ගැන දන්නවා” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා චෝදනා නැඟීය.
“එහෙම චෝදනා කරන්න එපා. උතුරේ සංවර්ධන කටයුතු අමාත්‍යාංශ කිහිපයකින්ම සිදු කෙරෙනවා. ඩීල් දානවා කියනවා නම්, නම් කරලා කියන්න” යනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
“නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ විෂයයන්වලට අදාළව වාණිජ අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැටලු සහගතයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරන මුදල්වලින්ම වරායක් හදන්න බැහැ නේද? යනුවෙන් විමසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාය.
“එහෙම දෙයක් නැහැ. උතුරේ පුනරුත්ථාපන හා සංවර්ධන කටයුතු අමාත්‍යාංශ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා” යනුවෙන් ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

සෙවණගල සීනි කර්මාන්තශාලාවේ පවතින අර්බුදයක් පිළිබඳව ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න කර සිටියේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතාය.

සෙවණගල සීනි කර්මාන්තශාලාවේ සේවකයන්ගේ ප්‍රශ්න ගණනාවක්ම තියෙනවා. එම උක් ගොවීන් මුහුණපා තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන්න සෙවණගල සීනි සමාගම දයා ගමගේ සමාගමට ලබා දෙනවා කියලා ප්‍රකාශ කළා. ඒක නම් හොඳයි” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
“තැල්ල බඳින්න නම් බෙල්ල තියෙන්න ඕන. ඒක නිසා සෙවණගල සීනි සමාගම නැවත පෞද්ගලීකකරණය කරන්න කටයුතු කරන්නේ නැහැ” යැයි ප්‍රකාශ කළේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here