විජයදාසගෙන් ව්‍යවස්ථා බෝම්බයක්

0
199

පාර්ලිමේන්තුවේ තමා ඇතුළු සියලු මන්ත්‍රිවරුන් එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීම පිණිස සම්මත කළ යෝජනාව සද්භාවයෙන් ගත් වැරදි තීන්දුවක් සේ සලකා වහාම අවලංගු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ආචාර්ය විජයදාස රාජපක්‍ෂ කතානායක කරු ජයසූරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත.

2017 සැප්තැම්බර් 21 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් අතුරු වාර්තාව මඟින් රට බෙදා වෙන් කිරීමට මුල පුරන්නා වූ ප්‍රතිපාදන යෝජනා කර තිබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ (1) ව්‍යවස්ථාව සෘජු හා වක්‍ර ආකාරයට උල්ලංඝනය කිරීමක් ලෙස තේරුම් ගත යුතු බවද හෙතෙම උදාහරණ දක්වමින් පෙන්වා දී තිබේ.
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට ආණ්ඩුවට ජනතා බලයක් ලැබුණේය කීමත් ඒ සඳහා ලක්‍ෂ 62ක ජනවරමක් ලැබී ඇතැයි කීමත් හුදු බොළඳ මන:කල්පිත තර්කයක් බවත් මිලියන 22ක් ජීවත් වන රටක ලක්‍ෂ 62කගෙන් ලත් ජනවරමක් මත ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතින් සම්මත කළ යුතු යැයි පැවැසිය හැක්කේ මන්ද මානසිකයකුට පමණක් බවත් එම ලිපියෙහි දක්වා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මුළුමනින්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනු ලබන බරපතළ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරන අනුවණ ක්‍රියාවක් බව ද එම ලිපියෙහි සඳහන්ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට සම්මත කර ගැනීම සඳහා පැහැදිලි ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවැතිය ද හිතාමතා ප්‍රකාශිත ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම ජනතා පරමාධිපත්‍ය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ හුස්ම හිර කරවා රට තුළ අරාජික තත්ත්වයක් නිර්මාණය කිරීමක් බව ද හෙතෙම සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය බිද වැටී ඇති හෙයින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට සුදුසු පාර්ලිමේන්තුවක් හෝ සමාජ වාතාවරණයක් හෝ මේ වන විට රට තුළ නොමැති බව ද සඳහන් කර ඇති විජයදාස රාජපක්‍ෂ මේ පිළිබද ප්‍රමාදයකින් තොරව තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් රට තුළ නිර්මාණය වෙමින් පවතින නොසන්සුන් තත්ත්වය තුළ ඇතිවිය හැකි ව්‍යසනයට වගකීම කතානායකවරයා බාර ගත යුතු බව ද වැඩිදුරටත් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here