“එක පාරක් රැවටුනාට දෙපාරක් රැවටෙන්නේ නෑ” – අනුරපුරෙන් මහින්ද සටන අරඹයි

0
278

මේ වැඩ කරන්න බැරි ආණ්‌ඩුවක්‌. වැඩ අනාගන්න ආණ්‌ඩුවක්‌. අයවැයෙන් දුන්න සහනයක්‌ නැහැ. ඉදිරිපත් කරපු බද්ද අස්‌සේ තවත් බදු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුවේ අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ ජන රැලියේදීය.

වත්මන් ආණ්‌ඩුවේ අසම්මත ගමනට එරෙහි රජරට රැලිය නමින් ඒකාබද්ධ විපක්‌ෂය මෙම රැලිය සංවිධානය කර තිබිණි. වසර 15 ක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය නියෝජනය කළ නිමල් කෝදාගොඩ යන අය ඇතුළු එක්‌සත් ජාතික පාක්‌ෂිකයන් පිරිසක්‌ මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්‌වීම විශේෂත්වයක්‌.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා –

අද යයිද අමුඩේ ගහගෙන. යන්න වෙයිද. මේ මහ ජන ගංගාව ගලාගෙන ඇවිත් තියෙන්නේ මේ ආණ්‌ඩුව මැතිවරණවලින් සම්පූර්ණයෙන් අතුගා දමන්න සූදානම් බව කියන්නයි. අපි එක පාරක්‌ රැවටුනාට දෙවැනි පාර රැවටෙන්නේ නැහැ. අපි ජනතාව සමග ඉන්නවා. මේ ආණ්‌ඩුව පිහිටුවපු දවසේ ඉඳලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා. අගමැතිවරයා පත්කළ හැටි, අගවිනිසුරු අස්‌කළ හැටි සියල්ල වුණේ ප්‍රජාතන්ත්‍රවාදයට, රටේ නීතියට හා ව්‍යවස්‌ථාවට විරුද්ධව. ජනතාවගේ අභිමතයත් ජනතාවගේ බලාපොරොත්තුත් සුන් කර රනිල් වික්‍රමසිංහ අගමැති කළේ ජන හදවතට පයින් ගහලා. ඒ නිසයි අද අපිත් මේ තත්ත්වයට ඇද වැටිලා තියෙන්නේ. මාසෙන් හොරකම් කරන්න පටන් ගත්ත බව ජනාධිපති කියනවා. හරියට හොරුත් එක්‌ක හෙලිවැල්ලෙන් ඉන්නවා වගේ. එයාට අපිට හොරු කියන්න මතක්‌ වුණේ අවුරුදු 10 ක්‌ ගිහින් නොමිනේෂන් කෝල් කරාම. රටේ ජනතාව ඇත්ත දන්නවා. ජනතාව රවටන්න බැහැ. මෙහේ පැත්තෙන් ගොවි ප්‍රදේශයකින් උපන් කුමාරයෙක්‌ ඇමැතිකම් කරනවා. ජනාධිපතිකම් කරනවා. මුලින්ම කළේ පොහොරවලට ගහපු එක. අපේ කාලේ ස්‌වයං පෝෂිත වුණු රට. පිටරට සාගිනි නිවන සංවිධානයට අපේ හාල් දුන්නා. එහෙම කරපු රටක්‌ අද නැව් එනකල් බලන් ඉන්නවා. ඒ තත්ත්වයට අපි වැටුණා. එහෙම වුණේ රටේ ගොවි ජනතාවට දුන්න සහන කපපු නිසයි. හාල් අරන් ගිහින් මම හදපු මත්තල ගුවන් තොටුපළේ දැම්මා. මෙයාලට තියෙන්නේ ඉරිසියාව. යුද්ධයක්‌ ඉවර කරලා අධිවේගී මාර්ග හදලා, පාරවල් කාපට්‌ කරලා, ගොඩනැඟිලි හදලා, රෝහල් හදලා, අධිකරණ සංකීර්ණ හදලා මේ සියල්ල මේ යෝධයා කළේ කොහොමද කියලා අහලා බාල්දු කරනවා. සත පහකට වැඩක්‌ නැහැ කියපු දේවල් කෝටි ගණන්වලට ගන්න විදේශිකයෝ පෝලිමේ එනවා. සම්පත් විකුණපුවම දරුවන්ට ඉතිරි වෙන්නේ මොනවාද. ශැංග්‍රිලා එකට අක්‌කර පහක්‌ දුන්නා කියලා කෑගහපු උදවිය හෙට අනිද්දා  ශැංග්‍රිලා එක විවෘත කරාවි. රටේ සංවර්ධනය පෙනුණා. ලෝකය දැක්‌කා. අපිට ආයෝජකයෝ ගලා ගෙන ආවා. අද ආයෝජකයෝ දුවනවා. ගොවි ජනතාවට ගහලා පටන් අරන් සෑම ජන කොටසකටම ගැහුවා. රාජපක්‌ෂගේ ණය නිසා මේවා විකුණනවා කිව්වාට මුන් අවුරුදු තුනක්‌ යන්න කලින් අපි ගත්තා වගේ 90% වැඩිපුර ණය අරන් කරපු කෙං ගෙඩියක්‌ නැහැ. පාරට පස්‌ ටිකක්‌ වත් දාලා නැහැ.
මේ වැඩ කරන්න බැරි ආණ්‌ඩුවක්‌. වැඩ අනාගන්න ආණ්‌ඩුවක්‌. අයවැයෙන් සහන දුන්නාලු. දීපු සහනයක්‌ නැහැ. ඉදිරිපත් කරපු බද්ද අස්‌සේ තවත් බදු. ඇස්‌ කණ්‌ණාඩියටත් බදු ගහලා. මේකයි ඇත්ත. මීයෝ රා බිව්වම කියන කතා ගැන කතා කරලා වැඩක්‌ නැහැ. මේ රටේ ජනතාව වෙන දේ දන්නවා. බොරු කියලා මොකුත් කරන්න බැහැ. යූ. ඇන්. පී. ආණ්‌ඩුවේ ඉඳගෙන මහින්ද ඩීල් ගහනවාලු. රනිල් එක්‌ක විතරක්‌ නොවේ මෛත්‍රී එක්‌කත් ඩීල්ලු. මේ මහින්ද ජනතාවත් එක්‌ක විතරයි. නායකයෝ එක්‌ක නැහැ. යූ. ඇන්. පී. ය එක්‌කත් නැහැ. ඩීල් නැහැ. මේ මැතිවරණය ඔබ. ජනතාව ලබා ගත්ත දෙයක්‌. පාද යාත්‍රා ඇවිත් බැටන් පොලුවලින් ගුටි කාලා., අමාත්‍යංශ වටලලා ලබා ගත්ත මැතිවරණයක්‌. ආණ්‌ඩුවට පාඩමක්‌ උගන්නන්න ලබා ගත්ත මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබට තියෙනවා.

සංහිඳියාව කියලා රට බෙදන ව්‍යවස්‌ථාවක්‌ ගෙනත් රණවිරුවෝ ජීවිත පූජාවෙන් බේරා ගත්ත රට බෙදන්න හදනවා. එදා රට එක්‌සත් කරපු රට ඒකීය රටක්‌ කරපු එක, ප්‍රභාකරන් යුද්ධ කරලා ගන්න හදපු රටයි මේ දෙන්න යන්නේ. අද ආගමික නායකයන්ට අපහාස කරන තත්ත්වයක්‌ ඇති වෙලා. චීවරධාරියා කියලා මහා සංඝරත්නයට බැණ වදිනවා. පන්සලේ පිං කැටේට බදු ගහපු යුගයක්‌ ඇවිත්. ඒකයි ඇත්ත. කන්දේ විහාරයට යනකොට පිංකැටේ සීල් කරලා යනවා නිලධාරීන්. පන්සලේ පිං කැටේටත් ගහලා ඉතිහාසගත වෙන ආණ්‌ඩුව මේකයි. ප්‍රතිපත්තියයි වැදගත් ලකුණ නෙවෙයි වැදගත්. එදා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් අස්‌වෙලා හදපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය අද යූ. ඇන්. පී. යට පාවා දීලා. ප්‍රතිපත්තිය රකින්නේ මෙතන. සියලු වාමාංශික පක්‌ෂ මෙතනයි. ඒ නිසා අපි මේ ආණ්‌ඩුව පරදන්න සූදානම් වෙමු. ඒ සඳහා ඔබේ සම්පුර්ණ සහාය දෙන්න.

ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා

මාතෘ භූමියේ ආරක්‌ෂාවට දේශපාලන නායකත්වය දුන්න මහින්ද මහත්තයා පසුගිය වතාවේ මේ මහා රැලිය පැවැත්වීමේදී දියුණු රටක්‌ බවට රට පරිවර්තනය කරන්න පොරොන්දු වුණා. රනිල්ට බහුතරය තිබුණේ නැහැ. බහුතරය අපිට ගන්න තිබියදී මහින්ද මහත්තයාව අගමැති විදිහට කැඳෙව්වේ නැහැ. එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයාවයි අගමැති කරලා ආණ්‌ඩුව පිහිටු වූයේ. ඒ අගමැති රට භාර ගත්ත හැමදාම රටට භයානක පියවරයි ගෙන තියෙන්නේ. ඊයේ පෙරේදා අහම්බෙන් 2002 බලය ගිහින් රනිල් ප්‍රභා ගිවිසුම අත්සන් කරලා රට පාවා දුන්නා. දැන් ඒ පරාජයට පත්වුණු රට බෙදීමේ වුවමනාවට අනුව රට බෙදන ෆෙඩරල් ආණ්‌ඩුවකට පාර කපන්න. මේ ද්‍රෝහී යෝජනාව පරාජය කරන්න ඒකාබද්ධ විපක්‌ෂය එක හඬින් පෙනී සිටිනවා.

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා –

2018 වසරේදී නියත වශයෙන්ම අගමැති ධුරයට මහින්ද රාජපක්‌ෂ මහතා පත් කරනවා. අද පරම්පරාගත හොඳම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂකාරයෝ ඉන්නේ මහින්ද මහත්තයා එක්‌ක. වත්මන් ජනාධිපතිතුමා එක්‌ක ඉන්නේ එහෙන් මෙහන් පැනපු පැරසුට්‌කාරයෝ. එස්‌. බී, මහින්ද සමරසිංහ, අප්පච්චි මළා, ඩිලාන් පෙරේරා මේ ඔක්‌කොම චිට්‌ එකෙන් ආපු අය. එස්‌. බී ටී. වී. එකේ කියනවා ඒකාබද්ධ විපක්‌ෂයේ අය අපි එක්‌ක රෑට රෑට කතා කරනවා. හෙට අනිද්දා බඩගාගෙන ජනාධිපතිතුමා ළඟට එනවාලු. එයාට වෙන්නේ හතරගාතෙන් මහින්ද මහත්තයා ළඟට එන්නයි. ජනතාවගේ කුතුහලයක්‌ තියෙනවා මේ පර මුක්‌කු ගහයි කියලා. යූ. ඇන්. පී. එක්‌ක ඉන්නකල් මුක්‌කු ගහන්න තියා හතර මායිමේ යන්නේ නැහැ. ඕනම පක්‌ෂයක නායකයා වෙන්න ඕනේ මහින්ද මහත්තයා. ලේකම් වෙන්න ඕන අපේ එකෙක්‌. බර්ටි හිටියා නම් ඉන්නෙත් මහින්ද මහත්තයා එක්‌ක. බර්ටිලා අපි දේශපාලනය කරන කොට ඔය දුමින්ද කොට කලිසමේ චූ දාගෙන හිටියේ. අපි ආයේ රැවටෙන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් සියලුම පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය කරනවා.

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා

අපි මේ හිටගෙන ඉන්නේ සොලී ආක්‍රමණිකයන්ගෙන් මව්බිම නිදහස්‌ කරගන්න අපේ මුතුන් මිත්තෝ සටන් කරපු භූමියේ. ලෝවා මහා පාය ඉදිකරපු ඉංජිනේරුවා බිහිවුණ පොළව මත. දැනට හොයාගෙන තියෙන පැරණිතම රෝහල මිහින්තලා රෝහල. විශ්මිත වාරි තාක්‌ෂණය කළ පිංබිමයි. ජයසිරිමා බෝ සමිඳුන් පැලවුණු රැකගත් භූමිය. සාගත ආවත් ජය ශ්‍රී මහා බෝධිය රැක ගත්තු මිනිසුන් බිහිවුණු. මහරජ ගැමුණුගේ පාපද පහස ලද පූජනීය අනුරාධපුර භූමියයි. ඒ භූමියෙනුයි මේ ද්‍රෝහී ආණ්‌ඩුව ගෙදර යවන සටන අරඹන්නේ. මැතිවරණ කල් දැම්මාට තියන්න වෙන දවසක්‌ එනවා. මැතිවරණ කල් දැම්මේ අපිව හිරේ දාලා යටත් කර ගන්න පුළුවන් වෙයි කියලා හිතලා. ඒ බලාපොරොත්තු කඩවෙලා ඡන්දය දෙන්න වුණා. ඒ අභියෝගයටයි අපි එකතු වෙලා ඉන්නේ. රටේ ආර්ථිකය, දේශපාලන ස්‌ථාවරත්වයත්, සමාජීය සංහිඳියාවත් එකම ලෙවල් එකකට ගෙනත් තිබුණා. මේ ආණ්‌ඩුව එතනින් පහළට රට ඇද දාලා.

කට ඇරියම ලොරි ටෝක්‌. ජාත්‍යන්තරය ජයගෙන ඇත. තෙල් ටිකක්‌ ඉල්ල ගන්න තැනක්‌ නැහැ. ත්‍රිකුණාමලයේ බාල තෙල් ගොඩබාමින් ඇත. මෙහෙමත් බෙලහීන ආණ්‌ඩුවක්‌. දැනුයි තරුණයන්ට රාජපක්‌ෂ ආණ්‌ඩුව මොනතරම් ස්‌මාර්ට්‌ද කියලා. තෙල් නැව ආවේ නැත්නම් අපි අනුරාධපුරේ ඇවිල්ලත් ඉවරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්‌. එම්. චන්ද්‍රසේන මහතා

අපි අද මේ සටන ආරම්භ කරන්නේ පුරුදු වෙන්න නෙවේ. ජයසිරිමා බෝධීන් වැඳගෙන එදා 2005 දී ඇරඹූ සටන ජයග්‍රහණය කළාට පස්‌සේ අපි මැතිවරණ කල් දැම්මේ නැහැ. මේ පුන්‍ය භූමියෙන් සියලු කටයුතු ඇරඹුවා. රජරටට රජෙක්‌ ඕනේ කියද්දී රජරට ජනතාව රැවටුනේ නැහැ. ජනාධිපතිවරණයේදී රජරට අපි මහින්ද රාජපක්‌ෂ මහත්තයාව ජයග්‍රහණය කෙරෙව්වා. ඊට පස්‌සේ දින 100 ආණ්‌ඩුව යටතෙත් මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් අනුරාධපුර ජයග්‍රහණය කළා. අද මැතිවරණයට යන්න සිද්ධ වෙලා මේ ආණ්‌ඩුවට. ගැසට්‌ පත්‍රය 12 ට පෙර ගහන නිසා මැතිරවණය සඳහා කරන රැස්‌වීමක්‌ කරමු කියන යෝජනාව මහින්ද මහත්තයා කළා. ඒ පණිවිඩය ජනතාව අතරට යැමත් සමග ආරම්භක වෙඩිමුරය සල්ගාදු පිටියෙන් තියන්න අපේ ජනතාව සහයෝගය දී තිබෙනවා.

ප්‍රජාතතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්‌කාර මහතා

පළාත් පාලන ඡන්දයකට ළඟයි. ෆයිසර් මුස්‌තාපා තටමමින් සිටි ගැසට්‌ පත්‍රය අද පළවුණා. දැන් මැතිවරණ කොමිසමේ ක්‍රියාදාමය ඇරඹෙනවා. මේ ඡන්දය ඉබේ ආවා නෙවේ. අපි නුවර ඉඳන් පාගමන් ඇවිත්, ගෝල්ෆේස්‌ පිටියේදී අභියෝග කළා, අමාත්‍යංශය වටකරලා පොරොන්දු ගත්තා. ඒ විදිහටයි මේ ඡන්දයට සමීප වුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය –

ෆේස්‌බුක්‌ එකේ හොඳ හොඳ කතා තියෙනවා. නැව් දෙකක්‌ එනකල් බලන් හිටපු කතාව එකක්‌. ශ්‍රී මහා බෝධිය වඩම්මනකල් බලාගෙන හිටියට පස්‌සේ බලාගෙන හිටියේ තෙල් නැව එනකල්ලු. අද මේ ආණ්‌ඩුව අපිට ප්‍රශ්න අමතක කරන්න උප්පරවැට්‌ටි දානවා. ලංකා ඉතිහාසයේ වුණු ලොකුම හොරකම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කූඩුවට නගින්න දවස්‌ හතරක්‌ තියෙද්දී තෙල් නැවක ප්‍රශ්නයක්‌ රටේ ඇති කරනවා. සයිටම් ප්‍රශ්නය හදන්නෙත් ආණ්‌ඩුව. ජනතාව දුක්‌ විඳින ප්‍රශ්නවලින්ම ජනතාව අමතක කරන්න ආණ්‌ඩුව හදනවා. ලංකා ඉතිහාසයේ ජීවත් වෙන්නම බැරි යුගය මේකයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය

පලිගන්න එකේ සීමාව ඉවරයි. පුච්චලා මරන්න බැරිකොට මන්ත්‍රීකම ගත්තා. ඒ මන්ත්‍රීකම නැති වුණා කියලා ගිතා කුමාරසිංහ ඉදිරියටත් ඒකාබද්ධ විපක්‌ෂයටයි සහාය දෙන්නේ. ජනතාවගේ ගෞරවය රකිමින් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගියේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ජී. එල්. පීරිස්‌ මහතා

අද අපේ රටේ අදහා ගන්න බැරි තත්ත්වයක්‌ ඇති වෙලා. ජනාධිපතිතුමා ඇයවැය ලේඛනයේ බියර් සම්බන්ධයෙන් සහන දීමට විරුද්ධයිලු. ඒ කියන්නේ තමන්ගේ රජයේ අයවැයටයි විරුද්ධ. මේ අයවැය සම්පූර්ණ ප්‍රොaඩාවක්‌.

පිවිතුරු හෙල උරුමය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් සුගීස්‌වර මහතා, ප්‍රගතිශීලී මුස්‌ලිම් පෙරමුණ නියෝජනය කරමින් අබ්දුල් සල්බායි, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් චන්න ජයසුමන, ශ්‍රී ලංකා මහජන පක්‌ෂයේ ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න මහතා, ලංකා සමසමාජ පක්‌ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්‌ස විතාරණ මහතා, ද මෙහිදී කතා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here