ඒකාබද්ධයේ 54 දෙනාට වැඩ වරදී – මන්ත්‍රී ධූරත් අහෝසි වන ලකුණු?

0
677

ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණයට සහාය ලබානොදෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 54 දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන පවත්වන රැස්වීම්වලදී වෙනම සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටියොත් සහ නාම යෝජනා සකස් කිරීමේදී වෙනම සන්ධානයකින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කළොත් මේ කාරණා දෙක මුල් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නියමිත අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස් කිරීමට නියමිත බවත් දැනගන්නට තිබේ.

මේ ආකාරයෙන් විනය පරීක්ෂණ පවත්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වැරැදිකරුවන් වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුර අහෝසි වීමේ දැඩි අවදානමක් පවතින බවද ඒ ගැන තීරණය ගැනීමේ බලය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා අත බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here