තෙල් නැව එනතුරු මුහුද දිහා බලා ඉන්න ඒකාබද්ධයේ මන්ත්‍රී කවුද?

0
220

පාර්ලිමේන්තුව රැස්වන දිනවල බත්තරමුල්ල රාජගිරිය ප්‍රදේශවල පවතින්නේ දැඩි රථවාහන තදබදයකි. කඩුවෙල, මාලඹේ ප්‍රදේශවල සිට පැමිණෙන රථවාහන එම දිනවලට රාජගිරිය හරහා බොරැල්ල දෙසට ඇදෙන්නේ ඉබි ගමනෙනි. උදයවරුවේ දැඩි රථවාහන තදබදයක් පවතින එම මාර්ගයේ පාර්ලිමේන්තුව රැස්වන දිනවල තදබදය තවත් වැඩිවෙන්නේ මැති ඇමැතිවරුන් ඇතුළු ජනතා නියෝජිතයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පාර්ලිමේන්තු වටරවුම ප්‍රදේශයේදී ඔවුන්ට අවස්ථාව ලබාදීම නිසාය.
පාර්ලිමේන්තුව ඊයේ (8දා) රැස්වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ලෙස නියෝජ්‍ය කනාතායක තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ විවාදය සඳහායි. මෙම විවාදය ඊයේ දින පැවැත්වුණේ පස්වැනි දිනටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඊයේ රැස්වන විට මැතිසබය දැඩි පාළු ස්භාවයක් ගෙන තිබිණි. එම අවස්ථාවේදී සභාගර්භය තුළ සිටියේ ජනතා නියෝජිතයන් අටදෙනකු පමණි.
ඉන් ආණ්ඩු පක්ෂය පස්දෙනකු නියෝජනය කළ අතර විපක්ෂය නියෝජනය කළේ තිදෙනකු පමණි.

විපක්ෂයේ ඉදිරිපෙළ ආසන පේළියම නියෝජනය කරමින් සිටියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පමණි.

ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසන පේළියේ කිසිවකු නොසිටි අතර දෙවැනි පේළියේ සිටියේ වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මෙසේ රැස්වෙන විට ජනතා නියෝජිතයන්ගේ සහභාගිත්වය මෙතරම් අඩුවූයේ එම ජනතා නියෝජිතයන්ටද ඉන්ධන අර්බුදය බලපෑම මතද කියා සැකයක් ඇති වීම සාධාරණය. මහජන ගැලරියද දැඩි පාළු ස්වභාවයකින් යුක්ත විය.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳ පස්වැනි දින විවාදය ආරම්භ කළේ හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කළ රවි කරුණානායක මහතා වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිතරම කාර්මික දෝෂ සිදු වන රථවාහනයකට උපමා කළේය.

මේ වාහනෙන් අලුත් පාරක අලුත් ගමනක් යන්න අමාරුයි. ඇන්ජිම රෙපයාර් කරන්න වෙනවා. තවත් කාර්මික දෝෂ ඇතිවෙනවා යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා කියා සිටියේය.

‘හැබැයි මන්ත්‍රිතුමා, වාහනේට තෙල් තියෙන්නත් ඕන’ යනුවෙන් මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ මඳක් සිනහාවෙමිනි.

තෙල් තියෙන්න ඕන. ඒ වගේම සූර්යය බලශක්ති ඇතුළු විකල්ප බලශක්ති කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුයි. කතාව දෝලාවෙන් ගමන පයින් වැඩක් වෙන්නේ නැහැ. බර කරත්තවලින් අධිවේගී මාර්ගවල ගිහිල්ලා වැඩක් වෙන්නේ නැහැ. නව ගමනක් සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි යනුවෙන් ප්‍රකාශ කළ රවි කරුණානායක මන්ත්‍රිවරයා එම කතාව අවසන් කරන ලද්දේ ස්වර්ග රාජ්‍යයකට රට ගෙන යා යුතු බව ප්‍රකාශ කරමිනි.

‘ඔව්. ඔව්’ ස්වර්ග රාජ්‍ය දැනටමත් පහළ වෙලා’ කියමින් ඊට සිනහසෙමින් ප්‍රතිචාර දැක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතාය.

විරුද්ධ පක්ෂය වෙනුවෙන් ඊයේ ප්‍රථමයෙන්ම විවාදයට එක් වූයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාය.

වෙල්ගම මහතා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට වර්තමාන දේශපාලන නායකයකු සමාන කළේය. එසේ සමාන කරමින් කීවේ එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මුහුණ දුන් අත්දැකීම් ඒ ආකාරයෙන්ම වර්තමානයේ සිටින ජනනායකයකු මුහුණ දී සිටින බවයි.

‘එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මඩ ගැහුවා. අපහාස කරලා විතරක් හිටියේ නැහැ. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළා. ඒක නිසා 1982 ජනාධිපතිවරණයට මැතිනියට තරග කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා 1982 ජනාධිපතිවරණයට තරග කළේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතායි. ඇයි? මැතිනියට මෙහෙම පහරදුන්නේ. මැතිනියට බයයි. මැතිනිය හුඟක් බල සම්පන්නයි. ඒක නිසයි එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පහරදුන්නේ. ඒ වගේම පහරදීමක් තමයි දැන් මේ ගොල්ලන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද මඩ ගහනවා. අපහාස කරනවා. පහර දෙනවා. මෙහෙම කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙන බිය නිසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා බල සම්පන්නයි. මේ ආණ්ඩුවට අවුරුදු 3කට කිට්ටුයි. ඒත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට බයයි. තව අවුරුදු 2කින් ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මහමැතිවරණයක් එනවා’ යනුවෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දහවල් 12.00ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. රංජිත් ද සොයිසා, කාංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණවීර මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ සාකච්ඡා කරමින් පැමිණි මහින්ද රාජපක්ෂ මහතාට අතරමඟදී

දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ මහත්වරු මුණගැසුණහ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පළමු මහලේ මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයට ගමන් කරන ආලින්දයේදී මෙම හමුව සිදුවිය.

කෙටි වේලාවක් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ මහත්වරුන් සමඟ සාකච්ඡා කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් යම් උපදෙසක්ද ලබාදෙන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රි භෝජනාගාරයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිවා ආහාරය ලබාගත්තේ රංජිත් ද සොයිසා, වෛද්‍ය රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, එස්.සී. මුතුකුමාරණ මහත්වරුන් ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟය.

වෙනත් මේසයක දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අසලට පැමිණියහ.
එසේ පැමිණියේ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, තෘතීයික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි යන මහත්වරුන්ය.
මෙම කතාබහේදී ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ රට තුළ පවතින ඉන්ධන අර්බුදයයි.

ඉන්ධන තොග ගබඩා කිරීම, කළමනාකරණය කිරීමට නිසි පියවර නොගැනීම නිසා මෙම ඉන්ධන අර්බුදය හටගෙන තිබෙන බව මෙහිදී සාකච්ඡා කෙරිණි.

තමා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී ගෑස් සමාගමක් බදුදීමට යෝජනා වූ අවස්ථාවේදී රජයට වැඩි කොටසක් හිමිවන ආකාරයෙන් එය සිදු විය යුතු බවට සාකච්ඡා කළද පසුකාලීනව රජයට අවාසි වන ආකාරයෙන් එම බදු ගිවිසුම සකස් වීමේ සූදානමක් පැවැති බව චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

‘එවැනි දේවල් වෙනවාද? කියලා සුපරීක්ෂාකාරීව බලන්න. නැත්නම් ඔබතුමන්ලාටයි ජනතාවගෙන් ‍දොස්  අහන්න වෙන්නේ’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

‘මං ඒ ගැන මාධ්‍ය හමුවක් තියලා කිව්වා’ චන්දිම විරක්කොඩි මහතා පිළිතුරු ලබාදුන්නේය.

‘මාධ්‍ය හමු තියලා හරියන්නේ නැහැ. ඕවා ගැන රටේ පොදු මහජනතාව දැනුවත් කරන්න. නැත්නම් ඔය ඇමැතිතුමාන්ලාට තමයි අන්තිමේදී ජනතාවගෙන් ‍ෙදාස් අහන්න වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටත්ව යෑමට පැමිණි හිටපු ජනාධිපතිවරයාට පළමු මහලේ පුස්තකාලය අසලදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මුණගැසුණේය.

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ මහතා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අතට අතදී සුහද ලෙස කතා බස් කෙළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වන්නේ නැත. ඒසේ වුවද ඊයේ දින විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටිනු දකින්නට ලැබිණි.

සභා ගර්භයට නොගිය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ පුස්තකාලයට වී පොත් කියවමින් සිටිනු දක්නට ලැබිණි.
වරායේ දැන් ස්ට්‍රයික් නැහැ නේද? ඉස්සර වගේ යනුවෙන් විමසා සිටියේ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාය.

‘දැන් නම් ස්ට්‍රයික් නැහැ. ඔබතුමා අන්තිමට කිව්වේ මොකක්ද? ඉස්සර වගේ කියලා මට තේරුණේ නැහැ’ කියමින් සිනහාවෙමින් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මං කිව්වේ ඉස්සර වගේ ස්ට්‍රයික් නැහැ. දැන් ඒක තෙල්වලට ගිහිල්ලා’ යනුවෙන් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඇනුම්පදයක් එල්ල කළේ කාටදැයි කියා දැනගැනීමට එතරම් කාලයක් නොගියේය.

එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා විමල් වීරවංශ මහතාට එරෙහිව යෝජනාවක් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කියලා කියපු විමල් වීරවංශ මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවට එනකොට විශේෂ පරීක්ෂණයකට ලක් කළ යුතුයි. පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේ ‍ඉඳලා සෑම දොරටුවකදිම විමල් වීරවංශ මහතාගේ ශරීරයත්, වාහනයත් ලිපිගොනු ඇතුළු බෑග් පූර්ණ පරීක්ෂණයකට ලක් කළ යුතුයි. අඩුම වශයෙන් පැයක කාලයක්වත් විමල් වීරවංශ මහතා පරීක්ෂාවකට ලක් කළ යුතුයි’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල් අමරසේන මහතා ප්‍රකාශ කළේය.

මේ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතා සහ තුෂාර ඉඳුනිල් අමරසේන මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවිය.

මේ අතර ඊයේ දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙනවිට විශාල පිරිසක් මහ මුහුද දිහා බලා සිටිනු දුටු තමාද ඒ ගැන විපරම් කළ බව ප්‍රකාශ කරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතාය.

අද මං එතකොට හුඟ දෙනෙක් මහ මුහුද දිහා බලාගෙන ඉන්නවා. මං බැලුවා මේ මොකද කියලා. සුනාමියක්වත් එනවද කියලා බලාගෙන ඉන්නවාද? කියලා මං හොයලා බැලුවා. මේ බලාගෙන ඉන්නේ තෙල් නැවක් එනකම්. ඉස්සර මිනිස්සු හිටියේ බස්, කෝච්චි එනකම් බලාගෙන. දැන් ඉන්න වෙලා තියෙන්නේ තෙල් නැව් එනතුරු බලාගෙනයි යනුවෙන්ද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here