කොපමණ අවලාද නැගුවත් දූෂණ හා වංචා පිටුදැකීම මාගේ අධිෂ්ඨානයයි

0
280
බැඳුම්කර කොමිසම පත්කිරීම පිළිබඳ ආණ්ඩුවේ සුළු පිරිසක් විසින් තමන්ට චෝදනා සහ විවේචන එල්ල කළ ද, තමන් එය සිදුකරන ලද්දේ යහපාලන රජයක් ලෙස සමාජ සාධාරණත්වය ඉටුකරමින් වංචා දුෂණ පිටුදැකීම සඳහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපතිවරයා පවසයි.
ඊයේ (08)පෙරවරුවේ බත්තරමුල්ල, අපේ ගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දෙවැනි ගුණ සමරු උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ඒ සඳහා වැරදිකරුවන් වන සියලූ දෙනා වගකිව යුතු බව ද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා පැවති දුෂිත පාලනය වෙනස් කර යහපාලනයක් සඳහා වූ ඉතා පවිත‍්‍ර චේතනාවෙන් යුතුව යහපාලන රජය ගොඩනගා ගත්තේ පසුගිය යුගයේ සිදුකළ වැරදි නැවත සිදුකිරීමට නොවන බව ද අවධාරණය කළේය.
සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යහපාලන සංකල්පය උදෙසා මෙන්ම සමාජ සාධාරණත්වය ඉටුකිරීම උදෙසා සියලූ දෙනා කැපවිය යුතු අතර, එහිදී නීතියේ ආධිපත්‍යය ද සැමට සමාන විය යුතු බවත්, වැරදිකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මකවීම ද නිසි ලෙස සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.
තමා ජනාධිපති ධූරයට පත්වූයේ  ඕනෑම මොහොතක එම ධූරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තමන් විසින් නිවැරදිව සිදුකරනු ලබන කටයුතු සඳහා සහයෝගය ලබාදීම ආණ්ඩුවේ සියලූ දෙනාගේ වගකීමක් බවද ප‍්‍රකාශ කළේය.
ලබන ජනවාරි 08 වනදාට වසර 03 ක් සපිරෙන යහපාලන රජය විසින් ඉටුකරන ලද යහපත් දේ ජනතාව අතරට ගෙන යා යුතු මෙන්ම ආණ්ඩුවේ ඇතැම් සුළු පිරිසක් විසින් සිදුකරන ලද වැරදි නිවැරදි කර ගනිමින් යහපත් ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට තවමත් අවස්ථාව පවතින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ වෙත සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ දැක්ම, දර්ශනය හා අපේක්ෂාව වූ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සියලූදෙනා කැපවීම බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ පිළිරුව සඳහා ඊයේ මුල්ගල් තැබුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අනතුරුව අපේගම පරිශ‍්‍රයේදී ප‍්‍රධාන ගුණසමරු උත්සවය ද පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here