රජරට ගොවි පුතකු ජනපති වුණත් පිටරටින් හාල් ගේනවා: ගොවියෝ වහ බොනවා

0
447

ජනතාවට පොරොන්දු වූ පරිදි යහපාලනය ඇති කිරීම ආණ්ඩුවට කළ හැකිවන්නේ හීනෙන් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා පැවැසීය.
රටේ ඇතිවන අර්බුද හමුවේ ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් ඉදිරියේ දණ ගැසීම විසඳුමක් නොවන බවද මන්ත්‍රිවරයා සඳහන් කෙළේය.
ඊයේ (07දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද සඳහන් කළේය.
පසුගිය වකවානුව තුළ නිර්මාණය වුණ ගැටලුවලට තවත් ගැටලුවක් එකතු වුණා. මේක දැනගෙන තමයි අපි එට්කා ගිවිසුමට විරුද්ධව කෑ ගැහුවේ. එතකොට ආණ්ඩුව කිව්වේ කිසිම දෙයක් රටට අහිතකර විදියට සිදුවන්නේ නෑ ඒකාබද්ධ විපක්‍ෂය බිල්ලො මවනවා කියලා කියනවා. නමුත් අද එහි යථාර්ථය දකින්න තිබෙනවා. ලෝකයේ වැඩිම වශයෙන් සියදිවි නසා ගන්නා රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙලා. ගොවියා වහබොන තත්ත්වයට පත්වෙලා. රජරටින් ගොවි පුතෙක් ජනාධිපති ලෙස පත් වුණාට පිටරටින් ගේන හාල් කන්න වෙලා තියෙන්නේ.

මිනිස්සු පාරවල්වල පෙට්රල් පෝලිම්වල. ඒ මිනිස්සු දේශපාලනයට, පාලකයන්ට ‍දොස් කියනවා.
අපි මේ තත්ත්වය නැති කරන්න අරගල කළා. ඉදිරියටත් අරගල කරනවා. අද රටේ බුලත් වගාව, ගම්මිරිස් වගාව නැති වෙලා. දයා ගමගේ ඇමැතිවරයා කියනවා අය-වැයෙන් මුදල් වෙන් කළා කියලා. ගිය පාර අය-වැයෙන් වෙන් කළ මුදලින් මේ අය වියදම් කරලා තියෙන්නෙත් 25%යි.
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන:

මේ රටේ දැවැන්ත අර්බුදයක් බවට පත්වෙමින් තිබෙන්නේ ඛණිජ තෙල් පිළිබඳ අර්බුදයයි. 2008 ලෝක ඛණිජ තෙල් අර්බුදය පැවැති කාලයේවත් නොවිඳි දුකක් වේදනාවක් යහපාලන ආණ්ඩුව යටතේ අද ජනතාව විඳිනවා. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ තමයි ලෝකයේ දැවැන්තම ඛණිජ තෙල් අර්බුදය ඇතිවුණේ. 2015 වසර වන තෙක්ම ඛණිජ තෙල් ආනයනය සඳහා විශාල මුදලක් ගෙවීමට සිදුවුණා. ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීමට වැය වන මුදලින් 1/4ක් වැය වුණේ ඛණිජ තෙල් ගෙන්වීම සඳහායි. මේ රජය බලයට පැමිණි පසු ලෝක ඛණිජ තෙල් මිල විශාල ලෙස අඩු වුණා.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ ඛණිජ තෙල් ගෙන්වීමට වැය වූ මුදලට වැඩිය ඇමෙරිකන් ඩොලර් මිලියන 5ක පමණ මුදලක් මේ ආණ්ඩුව යටතේ ඉතුරු වෙලා තියෙනවා. ඕනෑම ආර්ථික ඔස්තාර් කෙනකුට මම අභියෝග කරනවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයේ මෙන් අර්බුදයක් තිබුණ නම් මේ ආණ්ඩුව යටතෙ අවුරුදු දෙක තුනක් ඛණිජ තෙල් නැතිව ජනතාවට ඉන්න වෙනවා. අයි.ඕ.සී. කුමන්ත්‍රණයක් නිසා හෝ ආණ්ඩුවේ කළමනාකරණයේ අකාර්යක්‍ෂමතාව නිසා හෝ ජනතාව මෙහෙම දුක් විඳිනවා නම් ප්‍රභාකරන්ගේ කාලයේ මෙහෙම වුණා නම් ඔහුට වෙනම රටක් හදන්න කෙතරම් ලෙහෙසි වෙනවාද?
සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තමයි විජාතිකකරණය කර තිබූ තෙල් නැවත ජාතිය සතු කළේ. එට්කා ගිවිසුම අස්සන් කිරීමට පෙර මෙහෙම නම් ගිවිසුම අස්සන් කළාට පසුව අනාගතයේ සිදුවන දේ හිතාගන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි:
තෙල් අර්බුදයෙන් මිනිස්සු මහ පාරේ. අර්ජුන රණතුංග කියනවා මැච් පරදින කොට ජනාධිපති, අගමැති සහ ක්‍රීඩා ඇමැති වගකියන්න ඕන කියලා. දැන් ආණ්ඩුවේ ඇමැතිලා අර්ජුන වගකියන්න ඕන කියනවා. එක එක්කෙනාට වරද පටවා ගැනීමක් තමයි ඔවුන් සිදු කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here