පාර්ලිමේන්තුව තෙලෙන් රත්වෙයි

0
332

තෙලෙන් මුළු රටම රත්වී තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුවද ඊයේ (07දා) මෙලෙස රත්විය. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තෙලෙන් රත්කිරීමේ කටයුත්තට පළමු සේව නූල පත්තු කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතාය. ඔහු නැඟිට වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

“ගරු කතානායකතුමනි, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙනුයි, මේ වරප්‍රසාද ප්‍රශ්නය මතුකරන්නේ. ඉන්ධන නැතිව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් අද පාර්ලිමේන්තුවට එන්න බැරිවෙලා තියෙනවා. දුර පළාත්වල ඉඳලා එන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් මේ ප්‍රශ්නයට ප්‍රබලව මුහුණ පාලා තිබෙනවා. මේ ගැන වහාම අවධානය යොමු කරන්න” යැයි විමල් වීරවංශ මහතා විසින් ප්‍රකාශ කරන ලදී.
“වෙනදා නම් කට්ටිය බර කරත්තයෙන් පාර්ලිමේන්තු එනවා” යනුවෙන් ඊට ප්‍රතිචාර දැක්වූයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්න කරුණාතිලක මහතාය.

මේ සමඟම ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයකින් තෙල් අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රශ්නයක් යොමු කළේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාය.
“රටපුරා පවතින ඉන්ධන අර්බුදයෙන් රටේ ආර්ථිකයටත් ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයටත් දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟිිනුයි ඉන්ධන බෙදා හරින්නේ. මේක ගැන රජයේ ස්ථාවරය කුමක්ද? ඉන්ධන ගබඩා තොග පවත්වාගෙන යෑමට නොහැකි වුණේ ඇයි කියලා රටට හෙළි කළ යුතුයි. දින වකවානු කිව්වට කවද්ද හරියට මේකට විසඳුමක් ලබා දෙන්නේ. ඇමැතිතුමා එකක් කියනවා. උප ඇමැතිනිය තව එකක් කියනවා. අමාත්‍යාංශය එකක් කියනවා” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.

මෙම වරප්‍රසාද ප්‍රශ්නය අසා අවසන් කරන ලෙස කතානායකවරයා දැනුම් දුන්නේය.
මේ කතාව දිනේෂ් ගුණවර්ධන මහතාට එතරම් රිස්සුවේ නැත.
“කතානායකතුමනි, මං මේ රටේම දැවෙන ප්‍රශ්නයක් කතා කරන්නේ. ඔබතුමාගේ වාහනේටත් ඉන්ධන නැහැ. ඒ ගැනයි මේ කතා කරන්නේ” දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

“ඔව්. මගේ වාහනේටත් තෙල් නැහැ” කතානායකවරයා මඳක් සිනහවෙමින් පැවැසීය.
මේ සමඟම ආණ්ඩු පක්ෂයේ පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් කෑ කෝ ගසමින් දිනේෂ් ගුණවර්ධන මහතාට බාධා කිරීම නිසා දිනේෂ් ගුණවර්ධන මහතාට තරමක් කේන්ති ගියේය.

“මෝඩයෝ වගේ කෑගහන්න එපා. මේ ගැටලුව කෑගහල විසඳන්න බැහැ. කැප්ටන් කූල්ගේ පිහිටෙන්වත් ගොඩ එන්න බලන්න” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන ලද්දේ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දෙස බලමින්ය.
“තෙල් නෞකාව කොළඹට එන බව කිව්වට, ඒ කවදාද කියලා නිශ්චිත වශයෙන් කියන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික අපිට නැති වුණා. හම්බන්තොට තෙල් ටැංකි ටිකත් අපට නැති වුණා. කොලොන්නාවේත් අර්බුදයක් තියෙනවා. මේ අර්බුදය ඇතිවුණේ කොහොමද?” යනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේ දිනේෂ් ගුණවර්ධන මහතාය.
ඉන් පසුව ස්ථාවර නියෝග 23(2) යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්නයක් විමසීමට නැඟී සිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය.
ඒ සමඟම දිනේෂ් ගුණවර්ධන මහතා යමක් ප්‍රකාශ කළ අතර ඒ කතාවට කතානායකවරයාගේ අවධානයද යොමු විය.

“ඔබතුමාට මේ දවස්වල තරහා යනවා. වැඩිය තරහ ගන්න එපා” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා, දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කළේය.
ඒ සමඟම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ මතු කළේද තෙල් අර්බුදය පිළිබඳවමයි. තෙල් අර්බුදය ගැන වුණත් තමා මෙය ඉදිරිපත් කරන්නේ වෙනස් ආකාරයට බවද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තෙල් ගබඩා කිරීම සඳහා ආණ්ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද චෝදනාවක් එල්ල කරන ලදී.

“ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99ක් තිබෙනවා. මෙම තෙල් ටැංකි බදුදීලා තියෙන්නේ ඉන්දියාවට. මේ තෙල් ටැංකි 99න් ඉන්දියානු තෙල් සමාගම දැනට පාවිච්චි කරනු ලබන්නේ තෙල් ටැංකි 8යි. අනෙක් සියලුම තෙල් ටැංකි දිරාපත් වෙමින් තියෙනවා. ඉන්දියානු තෙල් සමාගම යටතේත් අවුරුදු 14ක් තිස්සේ මේ තෙල් ටැංකි දිරාපත් වෙමින් තිබෙනවා. 2003 අවුරුද්දේදී බදු ගිවිසුම අහෝසි වෙලත් දැන් ඉන්දියානු තෙල් සමාගම ඉන්නේ නීති විරෝධී ලෙසයි. මේ තෙල් ටැංකිවලින් 10ක් යළි තෙල් සංස්ථාවට ලබාගන්න කියලා 2016 වසරේදී කැබිනට් තීරණයක් ගත්තා. නමුත් 2016 වසරේ ජුනි මාසයේදී අගමැති කැබිනට් පත්‍රිකාවක් දාලා කලින් කැබිනට් තීරණය වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.
මෙම චෝදනාවට පිළිතුරු ලබාදීමට නැඟී සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.
“මගේ නම කියැවුණු නිසයි මං පිළිතුරු ලබා දෙන්නේ. 2003 වසර වන විට මෙම තෙල් ටැංකිවලින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රයෝජන අරගෙන තිබුණේ නැහැ. ඒ නිසයි ඉන්දියාවට බදු දුන්නේ. ඒක සාර්ථක කරගන්න අපේ වැඩපිළිවෙළක් තිබුණා. එතකොටමයි ආණ්ඩුව මාරුවුණේ. අපේ ආණ්ඩුවක් තිබුණනම් මේ තෙල් ටැංකිවලට මෙහෙම වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා මේකට මට වගකියන්න බැහැ. තෙල් සංස්ථාවටත් විශාල ණයක් ගෙවමින් තිබෙනවා. යළිත් ඉන්දියාව එක්ක එකඟ වෙලා අවශ්‍ය කටයුතු කරන්නයි නැවත මං සූදානම් වුණේ. මේ තෙල් ටැංකිවලින් ප්‍රයෝජනයක් ගන්න. මේ තෙල් ටැංකිවලින් අපේ රටටත් ඉන්දියාවේ කොටසකටත් තෙල් ගබඩා කළ හැකියි.

“හම්බන්තොට තෙල් පිරිපහදුවක් හදන්න කළ ඉල්ලීමට චීනය එකඟවෙලා තියෙනවා. තෙල් නැව් දෙකක් පැමිණීමට නියමිතයි. එතකොට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ගැටලුවකින් තොරව තෙල් ලබාගැනීමේ ක්‍රමයක් ඇතිකළොත් හොඳ බව කතානායක කරු ජයසූරිය මහතා මෙහිදී පැවසීය.
ඉන්ධන අර්බුදය ඇතිවීමට හේතුව දීර්ඝ වශයෙන් පැහැදිලි කළ අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 08 වැනිදා අද සහ 09 වැනිදා ඉන්ධන නෞකා දෙකක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවයි.

ඉන්ධන අර්බුදය ඇතිවීමට එක්තරා එස්.එම්.එස්  පණිවිඩයක් හේතු වූ බවත් එම කෙටි පණිවිඩය කාගේ වුවමනාවට සිදු වූවක්ද යන්න සොයා බලන බවද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර තෙල් ගින්නෙන් ඇවිළෙන පාර්ලිමේන්තුවට පිදුරු එක්කළේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාය.
“තෙල් සංස්ථාවෙන් 20%ක් ඉන්දියානු තෙල් සමාගමට දෙනකොට ගරු කතානායකතුමත් ඔබතුමා තමයි විෂයභාර ඇමැති”. අගමැතිතුමා මේ “අගමැතිතුමාමයි” යනුවෙන් විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරන විටම මැතිසබය යළිත් උණුසුම් වන්නට විය.
“ඒක මං ගත්තු තීරණයක් නොවේ. කැබිනට් මණ්ඩලය ගත්තු තීරණයක්” යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
“අර්ජුන රණතුංග ඇමැතිතුමා කිව්වා, මේ බාල තෙල් නැව් ගන්න කියලා විවිධ දේශපාලන බලපෑම් ආවා කියල. කොන්ද කෙළින් තියෙන ඇමැති කෙනෙක් නම් මේ සභාවට කියනවාද කාගෙන්ද ඒ බලපෑම් ආවේ කියලා” යනුවෙන් විමල් වීරවංශ මහතා විමසා සිටියේය.
“මං අවශ්‍ය තැනදී ඒ ගැන කියලා තියෙනවා. ජනාධිපතිතුමාගෙන්, අගමැතිතුමාගෙන් කිසිදු බලපෑමක් එල්ලවෙලා නැහැ. තෙල් ගැටලුව යථා තත්ත්වයට පත්වූ පසුව මේ ගැන හොයනවා. රටට හානියක් වෙන දෙයක් මං කරන්නේ නැහැ. මට ඇමැතිකමෙන් ඉවත්වෙලා ගෙදර යන්න වුණත් මං ඒ දේ කරන්නේ නැහැ” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විමල් වීරවංශ මහතා දිගින් දිගටම නීති ප්‍රශ්න මතුකිරීමට උත්සාහ ගත්තද කතානායකවරයාගෙන් ඊට අවස්ථාවක් ලැබුණේ නැත. විමල් වීරවංශ මහතාගෙන් දිගටම බාධා එල්ලවනවා දුටු එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා රීති ප්‍රශ්නයක් මතු කළේය.
“ගරු කතානායකතුමනි, විමල් වීරවංශ මන්ත්‍රිතුමා මීට පෙර ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා. ඒ ගැන ඔබතුමාගේ ස්ථාවරය කුමක්ද?
යනුවෙන් විජේපාල හෙට්ටිආරච්චි මහතා විමසා සිටියේය.

“ඒ ගැන පරීක්ෂණයක් සිදුකෙරෙනවා” කතානායක කරු ජයසූරිය මහතා ඊට ප්‍රතිචාර දැක්වීය.
මේ අතර සෝඩා බෝතලයක් ඊයේ පාර්ලිමේන්තුවට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාය.
අධිකරණ අමාත්‍යාංශයට සම්බන්ධ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ ඡන්දය ඊයේ පැවැත්වුණු අවස්ථාවේදී සෝඩා බෝතලයක් ගැන කතාවක් කරළියට ගෙනාවේ විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය.

අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ ක්‍රියාකලාපයත් සෝඩා බෝතලයකට උපමා කරමින් විජිත හේරත් මහතා කතා කළේය.
“මේ මන්ත්‍රිතුමා වැරදි දේවල් කියලා සභාව නොමඟ යවනවා” යනුවෙන් තලතා අතුකෝරල අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
“සෝඩා බෝතලය කියලා මං කිව්වේ, ඔබතුමියට නොවේ. අධිකරණ අමාත්‍යවරිය වශයෙන් වැඩ භාරගත්තු ගමන්ම සෝඩා බෝතලය ඇරියා වගේ විවිධ ප්‍රකාශ නිකුත් කළා කියලයි මම කිව්වේ. නැතුව ඔබතුමිය සෝඩා බෝතලයකට සමාන කළේ නැහැ. ඔබතුමියගේ ක්‍රියා කලාපයයි සෝඩා බෝතලයට සමාන කළේ. සෝඩා බෝතලය නම් ඔබතුමියට වඩා ලස්සනයි” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
ඊයේ දින පාර්ලිමේන්තුව රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂයේ කැබිනට් අමාත්‍යවරියක් කරන ලද ආරාධනාවක් අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මැතිසබය හරහා ගොස් එම කැබිනට් අමාත්‍යවරිය මුණගැසුණේය.

කැබිනට් අමාත්‍යවරිය අධිකරණය හා විදේශ රැකියා සුබ සාධන අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වන්නේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත්ද සොයිසා මහතාය. දෙදෙනා අතර සිදුවූ කතාබහ සතර කන්මන්ත්‍රණයකට පමණක් සීමා විණි.
පසුගිය පාර්ලිමේන්තු සතියේ දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මුණ ගැසුණි. තමා දිගින් දිගටම විවේචනය කිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතා විහිළුවක් කළේය.

“ඔයා මටම තමයි ගහන්නේ නේද?” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
“ඔබතුමාට නැත්නම් වෙන කාට ගහන්නද” කබීර් හෂීම් අමාත්‍යවරයා කළ ප්‍රකාශයට දෙදෙනාම සිනහ සූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here