තෙල් ප්‍රශ්නය අනිද්දාට ඉවරයි? තෙල් නැව අද රෑ කොළඹට

0
471

පවතින පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද(08) පෙරවරුවේ පවත්වා තිබේ.

හෙට දිනය වන විට කොළඹ සහ අවට ප්‍රදේශවලට සාමන්‍ය පරිදි ඉන්ධන ලබාදීම සිදු කරන බවත් අනිද්දා වනවිට දිවයින පුරා ඉන්ධන ලබා දීම සාමාන්‍ය තත්ත්වයට පත් වන බවත් අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේය.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය විසඳීමට පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 40,000 ක්‌ රැගෙන ‘ලේඩි නෙවරස්‌කා’ නැව මේ වනවිට කොළඹ වරාය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.

එම නැව අද (08) රාත්‍රි 11 පමණ වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයි ද එය ඊයේ සවස්‌ වන විට කොචි සහ බැංගලෝර් අතර මුහුදේ යාත්‍රා කරමින් තිබූ බව ශ්‍රී ලංකා රජය සැටලයිට්‌ මගින් නිරීක්‍ෂණය කර ඇතැයි ද ආරංචි මාර්ග පවසයි.

උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මේ තෙල් නැව කඩිනමින් ගෙන්වා ගැනීමට රජයේ බලධාරීන් උත්සාහ ගෙන ඇති අතර ඒ අනුව පැමිණීමට නියමිත වේලාවට පැය දෙකකට පමණ පෙර තෙල් නෞකාව ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ද වාර්තා වේ.

කෙසේවෙතත් පෙට්‍රල් හිඟය හේතුවෙන් අද දිනයෙත් දිවයිනේ බෙහෝ ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට ලක්ව සිටින අතර ඉන්ධන පිරවුම්හල්වල අද දිනයේත් ඉන්ධන හල් අසල දිගු පෝළිම් දක්නට ලැබේ.

පෙට්‍රල් අර්බුදය හේතුවෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ත්‍රීරෝද රථ හිමියන්ට බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේය.

මේ අතර පවතින පෙට්‍රල් හිඟයත් සමඟ විවිධ ජාවාරම්කරුවන් පෙට්‍රල් වැඩි මිලට අලෙවි කිරීමට උත්සහ කරන බව වාර්තා වෙයි.

මේ අතර අවශ්‍ය වුවහොත් ඉන්ධන පිරවුම්හල් සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here