තෙල් බලය පෞද්ගලික අංශයට දී ආණ්ඩුව දැන් දත නියවනවා

0
436

තම බලය පෞද්ගලික අංශයට විකුණා දත නියවාගෙන සිටින තැනකට අද ආණ්ඩුව පත් වී සිටින බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ක්‍රමයෙන් පෞද්ගලික අංශයට ලබා දීමට තිබෙන ආණ්ඩුවේ අභිලාෂය නිසා මේ වනවිට ඛනිජ තෙල් පිළිබඳ අර්බුදයක් රටෙහි මතුව ඇති බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ වනවිට රටෙහි ආර්ථික අර්බුදයක්ද නිර්මාණය වී ඇති නිසා මෙවර අයවැයෙන් රටේ ජනතාවට සහන රැසක් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවද නානායක්කාර මහතා පැවැසීය.
සමාජවාදී ජනතා පෙරමුණ කොළඹදී පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදීය.
වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

තෙල් අර්බුදයට මූලික හේතුව කුමක්ද? තෙල් නිසයි රටේ ආර්ථිකය පවතින්නේ. මේ තෙල් ප්‍රශ්නයට ආයතන දෙකක් වගකිව යුතුයි. එකක් ආණ්ඩුවේ සිපෙට්කෝ එක. අනිත් එක එල්.අයි.ඕ.සී. එක. එල්.අයි.ඕ.සී. එක තමයි බාල තෙල් නැව ලංකාවට එවා තිබෙන්නේ. තෙල් සංස්ථාව අද ඉන්දියන් තෙල් සමාගමේ මෙහෙයුම් මත යැපෙමිනුයි මේ රටට තෙල් ගෙන්වීම සහ පිරිපහදුව කියන දේවල් සිද්ධ කරන්නේ. එක නැවයි හරවන්න සිදුවුණේ. රටේ තෙල් අර්බුදයක් ඇති වුණා. කොළොන්නාවේ තෙල් ටැංකි තිබෙනවා. සපුගස්කන්දෙත් තිබෙනවා. නමුත් තෙල් ගබඩා කිරීම් මදි නිසයි මේ ප්‍රශ්නය ඇති වුණේ. නොවැම්බර් 8 තෙල් නැවක් එනවා කියනවා. නමුත් එය ප්‍රමාද වුණොත් මේ අර්බුදය තවත් දිග්ගැස්සෙන්න පුළුවන්. ඇයි අපිට කෙළින්ම තෙල් ඇණවුම් කරන්න බැරි? මේවාට ආණ්ඩුව උත්තර දිය යුතුයි. මේ ආණ්ඩුවම තමයි එල්.අයි.ඕ.සී. එකට තෙල් සංස්ථාවෙන් පංගුවක් දුන්නේ.
නොවැම්බර්, දෙසැම්බර් වනවිට දැන් තිබෙන බඩු මිල දෙගුණයකින් වැඩි වෙන්න පුළුවන්. පාරිභෝගික නිෂ්පාදන වෙනුවෙන් සමුපකාර ක්‍රමයක් අනුගමනය කරන්නෙ නැත්තේ ඇයි? සියලුම දේ පෞද්ගලික අංශයට භාර දුන්නාම අත්වන ප්‍රතිඵලය වන්නේ මෙයයි. මින් අසරණ වන්නේ පාරිභෝගිකයායි.එදා මහින්ද රාජපක්ෂගේ රජය ජීවන වියදම් දීමනාවක් ලබාදුන්නා. රුපියල් 50,000කට වඩා අඩු ආදායමක් ලබන පවුල්වලට අත්‍යවශ්‍ය සේවා හා ද්‍රව්‍ය අඩු මිලට ලබාදෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළොත් එය හොඳ වැඩපිළිවෙළක්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here