ගාල්ලේ සන්ධාන මන්ත්‍රීවරුන්ගේ තනතුරු අහිමි වීමේ අවදානමක් නෑ – ඇමැති අජිත්ගේ නීති දැනුම ගැන ගම්මන්පිල කියයි

0
387

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තනතුරු අහිමි වීමේ කිසිදු අවදානමක් නැති බව පිවිතුරු හෙළ උරුමයේ‍ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසූවේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ගම්මන්පිල මහතා මෙසේද සඳහන් කළේය.

“ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ නීතිඥ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිතුමා ද්විත්ව පුරවැසිකම තිබූ ගීතා කුමාරසිංහ මැතිණිය ගාල්ලේ සන්ධාන ලැයිස්තුවේ සිටි නිසා එම ලැයිස්තුවම අහෝසි වන බව පැවසුවා. එතුමා ඒ මතය ඉදිරිපත් කළේ නීති මතයක් විධියට මිස දේශපාලන මතයක් විධියට නොවේ කියලා එතුමන් කියනවා. සාමාන්‍යයෙන් නීතිඥයෙක් නීතිමය මතයක් ඉදිරිපත් කරද්දි ව්‍යස්ථාව, පනත්, රෙගුලාසි, නඩු තීන්දු උපුටා දක්වනවා. නමුත් අජිත් පෙරේරා මන්ත්‍රීතුමන් නම් එසේ උපුටා දැක්වීමක් කලේ නෑ. මොකද එතුමන්ගේ බොරුව සනාථ  කළ හැකි කිසිම නඩු තීන්දුවක් රෙගුලාසියක් ව්‍යවස්ථාවක් නොමැති නිසා.

නමුත් ඇත්තටම සිද්ධ වුණේ අජිත් නියෝජ්‍ය ඇමතිතුමා තමන්ගේ නීතිය පිළිබඳ දන්නාකම ප්‍රදර්ශනය කරන්න ගිහින් නොදන්නාකම ප්‍රදර්ශනය කිරීමයි. අපි එහෙම නම් ඇත්තම නීතිමය තත්වය දැන් විමසා බලමු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසුකම් තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තියේ. නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමට හේතු තිබෙන්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 19 වන වගන්තියේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාව සංශෝධනය කරලා 91(ඈ) (xiii) අනු වගන්තිය ලෙස ද්විත්ව පුරවැසියෙකු වීම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස තේරී පත්වීමට වගේම කටයුතු කරගෙන යෑමට නුසුදුසුකමක් බවට පත් කළා.

නමුත් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කරලා නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කිරීමට ඒක හේතුවක් කළේ නෑ. එහෙම කරලා නෑ විතරක් නෙමේ එහෙම කරන්නත් බෑ. මොකද කවුරු හරි විරෝධයක් පලකරලා කියනවා අහවල් අපේක්ෂකයා ද්විත්ව පුරවැසියෙක් කියලා. තේරීම් භාර නිලධාරීවරයා කොහොමද ඒ විරෝධතාව මත පදනම් වී නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරන්නේ. ඒ විරෝධතාවය හරියැයි සනාථ කරගන්නේ කොහොමද?
මොකද ඒක ක්ෂණිකව කළ හැක්කක් නොවේ. ලිය කියවිලි පරික්ෂා කර බලා කරුණුවලට සවන්දී කළ යුතු දෙයක්. ඒ නිසා තමයි එම කාරණය අධිකරණයට බාරදී තිබෙන්නේ. ඒ නිසා ගීතා මැතිණියගේ මන්ත්‍රීධූරය අහිමි වීම ගාලු සන්ධානය ලැයිස්තුවට කිසිම බලපෑමක් එල්ල කරන්නේ නෑ. නීතිය දන්න කෙනෙක් විදිහට මම ඒක ඉතාම වගකීමෙන් කියනවා.“ යැයිද හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව සංධානයේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ගේ තනතුරු අහිමි වීමේ කිසිම අවදානමක් නොමැති බවත් ඒ නිසා රටේ ඇත්ත ප්‍රශ්න යටපත් කිරීමට බොරු බිල්ලෝ මවන්න එපා කියා මාගේ උගත් මිත්‍රයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මොකද ඔබේ කළු ලෝගුවට ඇති ගෞරවය නිසා මාධ්‍ය මෙය වාර්ථා කළා. විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ඒ නිසා කළු ලෝගුවේ ගෞරවය පක්ෂ දේශපාලනය වෙනුවෙන් කඩේ යවන්න එපා කියලා මගේ උගත් මිත්‍රයාගෙන් මම ඉල්ලා සිටිනවා.“ යැයිද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here