සංහිඳියාව කියන වචනය සමහරුන්ට විහිළුවක් වෙලා

0
550

සංහිඳියාව කියන වචනය සමහරුන්ට අද විහිළුවක් වුවත් සිංහල ජනතාව හා දෙමළ ජනතාව අතර සංහිඳියාව ඉතා විශිෂ්ට ලෙස මේ බිමේ තිබුණ යුගය මහ පැරකුම් යුගය බවත් ජීවනෝපාය සංවර්ධනය සඳහා අද දින ආධාර ලබන පිරිස එසේ සංහිඳියාවෙන් සිටින සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (04දා) පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙහි සිංහල, දෙමළ, මුස්ලිම් පුද්ගලයන් 1054කට ජීවනෝපාය සංවර්ධනය සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
“පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ ජීවනෝපාය සංවර්ධනය සඳහා මේ වසරේ පොළොන්නරුවට වෙන් කරන ලද රුපියල් කෝටි 100ක මුදලින් මේ වන විට ලැබී ඇති රුපියල් කෝටි 60ක ආධාර වැඩ පිළිවෙළේ අද රුපියල් කෝටි 7කට ආසන්න මුදලකින් ඔබ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම සිදු කෙරෙනවා.
මූලිකම දේ තමයි තමන්ට අවශ්‍ය උපකරණ ගන්න, සම්පත් ගන්න අවශ්‍ය මුදල් නෑ. ඒ නිසා දැනුම තිබුණත් හැකියාව තිබුණත් වෘත්තීය පුහුණු ආයතනවලට ගිහිල්ලා, කාර්මික විද්‍යාලවලට ගිහිල්ලා පුහුණුවෙලා තමන්ට තමන් දන්නා දේ කරන්න අතට සල්ලි නැතුව ගෙදරට වෙලා ඉන්නවා. මුළු මහත් රටේ ක්‍රියාත්මක කළ යුතු ජාතික වැඩසටහනක නියමු ව්‍යාපෘතිය මේ ආකාරයට පොළොන්නරුවෙන් පටන් ගත්තේ.

අපි මේ විදියේ ඔබට ශක්තියක් දෙන්නේ, ඔබට අවශ්‍ය මඟ පෙන්වීමක් දෙන්නේ ඔබට ආත්ම විශ්වාස, අධිෂ්ඨානශීලී බව ඇති කරන්නයි. මම රක්ෂා තුනක් කළා. ඒ තුනෙන්ම මම ඉල්ලා අස්වුණා. දෙවැනි රැකියාවෙන් ඉල්ලා අස්වෙලා තමයි මම කියුබාවේ ගියේ. ඒ ගිහින් ඇවිත් මට රස්සාවක් නෑ. ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. මට මවුපියන්ගෙන් හැමදේම ඉල්ලන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම 1979 වගේ කාලේ කුකුළු ගොවිපොළක් පටන් ගත්තා.

මාස කීපයක් තමා මට කරන්න පුළුවන්කම ලැබුණේ. අහල පහළ ඉන්න සත්තු, නයි එහෙම ඒ සත්තු ටික කාලා දැම්මා. ඊට පස්සේ කරුණාරත්න ගමගේ මාධ්‍ය සහෝදරයා සමඟ එකතුවෙලා මහවැලි ගඟෙන් එගොඩහ මනම්පිටියේ ඉඩමක් අරගෙන මිරිස් වවන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ගමගේ සහෝදරයාගේ තාත්තට කියල මීහරක් බාන් හතරක් ඉල්ල ගත්තා. හරක් ටික අරගෙන ළමයෙක් යැව්වා ලක්ෂඋයනේ ඉඳලා මනම්පිටියට. අපි දෙන්නා මගේ කබල් බයිසිකලෙන් ගියා. ඒ කාලේ මම හැදුව ලස්සන පාලම තිබුණේ නෑ. රේල් පාරයි බස් පාරයි එකට තියෙන පාලම තමයි තිබුණේ. අර හරක් බාන් හතර මනම්පිටිය පාලමෙන් යනකොට කෝච්චියට හැපිලා බාන් හතරම මැරිලා හිටියා. ඒ වෙලාවේ තමයි මට අදහසක් ආවේ මෙතැන පාලමක් තිබුණා නම් කියලා. ඊට අවුරුදු 15කට විතර පස්සේ මම ඇමැතිවරයෙක් වුණාට පස්සේ මනම්පිටියට පාලමක් හදන්න පරීක්‍ෂණ වාර්තාවක් ගෙන්න ගත්තා. කිසිම දෙපාර්තමේන්තුවක් නිර්දේශ කරල තිබුණේ නැති ඒ පාලම හදලා මම ඒ සිහිනය සැබෑ කරගත්තා. මම ඒ කතාව කීවේ අපි අපේ ජීවිත ගොඩනඟාගන්න කොච්චර මහන්සි වෙලාද කියල පෙන්වන්න. අලුත් පරම්පරාව හිතන්න පුළුවන් අපි අහසින් පාත්වෙලා බොහොම සුන්දර විදියට බොහෝම පහසුවෙන් තමයි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ කියලා.

2015 ජනාධිපති ඡන්දෙට ආවාමත් පොළොන්නරුවේ සමහර අය හිතුවේ අයියෝ ඔය මිනිහට පුළුවන්ද අරයව පරද්දන්න කියලා. මගේ ළඟම හිටපු අයත් මාව අමතක කෙරුවානේ. නමුත් මට හිතේ විශ්වාසයක් තිබුණා. ලෝකයේ සෑම විටම ජය අරන් තියෙන්නේ දුෂ්කර ජීවිත සමඟ ගොඩනැඟුණු මිනිස්සු. ලෝකය වෙනස් කරලා තියෙන්නේ පුංචි පවුල්වලින් ආපු අය.

ඔබට මේ ලැබෙන සම්පත් භාවිතයේදී ජීවනෝපාය සංවර්ධනයට පළමු වැනි දේ තමයි ඔබේ කැපවීම.
අපි ගමේ ශ්‍රමදාන කළා. පාරවල් හැදුවා. පාසල්වලට වැටවල් හැදුවා. අත්වල දියපට්ටා එනකම් මහන්සිවෙලා තියෙනවා. මම දන්නෑ ඒ විදියට ජීවිතයක් ගත කරපු කෙනෙක් මේ රටේ ජනාධිපති, අගමැති වෙලා තියෙනවාද කියලා. නමුත් ඒ සියලු අත්දැකීම් එක්ක මම මෙතෙන්ට ආවේ. ඔබට ඔබේ ජීවිතය ගොඩනඟා ගැනීමේදී එළඹෙන බාධා ගැටලු කම්කටොලු විඳදරා ගැනීම වැදගත් වෙනවා.

දැන් ලංකාවේ සියදිවි නසා ගැනීම් ලෝකයේ තුන්වැනියා හෝ හතරවැනියා. ඇයි මේ. තමන්ට යමක් විඳදරා ගැනීමේ හැකියාවක් නැති වුණාමයි මෙලෙස සිදු වෙන්නේ.
අපිට නින්දා අපහාස, ජීවන අරගල හොඳට හුරුයි. අපිට මොනව කළත් මොනව කීවත් ගණන් ගන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here