ජනාධිපතිතුමා ලංකාවේ හිටියා නම් ආණ්ඩුවෙන් මම ඉවත්වෙන්නේ එදා

0
306

විපක්ෂයේ අසුන් ගැනීමට ඇමැති ධුරයෙන් ඉවත් කරනකම්ම සිටියේ ඇයි?

අයින් කරනකම් සිටියේ නැහැ. මේ තත්ත්වයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දින 100 ආණ්ඩුවෙත් ඇමැතිකමකට ආරාධනාවක් තිබුණා. මං ඒක ලබාගත්තේ නැහැ. අගෝස්තු 17 වැනිදා ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපතිතුමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වුණු සියලු මන්ත්‍රිවරුන්ට ආරාධනා කළා කැමැති අය එන්න ආණ්ඩුවත් එක්ක ඇමැතිකම් කරන්න කියලා. අනිත් අයට ස්වාධීනව විපක්ෂයේ වැඩකටයුතු කරන්න අවසර දුන්නා. ඒ අනුව මම අමාත්‍ය ධුරයක් ලබා ගත්තේ.

එහිදී ‍දොම්පේ බියගම ප්‍රාදේශීය සභාවල ‍දොම්පේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිකමත් බියගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිකමත් ලැබුණා. ලක්ෂ 663ක මුදලක් පාරවල් හදන්නත් ලැබුණා. මේ ආකාරයට කටයුතු කරගෙන යනකොට බියගම නම් ගැටලුවක් වුණේ නැහැ. ‍දොම්පේ මගේ යෝජනා ක්‍රියාත්මක වෙලා සංවර්ධන කටයුතු කෙරීගෙන යනකොට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකතුමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාට කියලා ඒ කටයුත්ත නවත්වලා තියෙනවා.දොම්පේ සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීම් මාස දෙකයි කරන්න ලැබුණේ. එතැනින් මාව අයින් කළා. මුල සිට වැඩකටයුතු කොටසක් කරගෙන යෑමට පුළුවන් වුණේ නැහැ මේ තනතුරු ලබාගත් කාලයේ සිටම.

රජයේ රැකියාවක් සඳහා තරග විභාගවලට මුහුණ දී සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වූ අපේ හිතවත් අයගේ දරුවන්ගේ නාම ලේඛන යවා නොමැතිව දරුවන් තිදෙනකුට රැකියා හිමි වුණේ නැහැ. අපේ අමාත්‍යාංශයේ වැඩ මම දන්නේ නැහැ. ඇතැම් විට මේ තත්ත්වය දිගින් දිගටම පැවැති තත්ත්වයක්. පසුගිය ජනවාරි මාසයේ අතිගරු ජනාධිපතිතුමාව මේ බව දැනුවත් කළා. යහපාලනය තුළ දෙගොල්ල එකතු වෙලා වැඩකරමු කීවා. එවැනි දෙයක් සිදු වන්නේ නැහැ. මේ විදියට මේ තනතුරුවලින් වැඩක් නැහැ යනාදී වශයෙන් දැනුවත් කළා. මේ තනතුරුවලින් ඉවත්වෙලා ගොස් ස්වාධීන මන්ත්‍රිවරයකු හැටියට කටයුතු කරන බව දැනුම් දුන්නා එහිදී.

ඉවත්වීමට හේතු වුණේ මේ කාරණා පමණද?

පසුගිය පළාත් සභා මැතිවරණය කල්දාන පනත පාර්ලිමේන්තුවට ගෙන ආ දවසේ සාකච්ඡා කළේ ඡන්දයෙන් 60%ක් ලැයිස්තුවෙන් 40%ක් වන පරිදි වන මැතිවරණ ක්‍රමයක් පිළිබඳවයි. ඒත් හැන්දෑවේ පහහමාර විතර වෙද්දී පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ නියෝජනය කරන පිරිස් අපට මෙමඟින් පාඩුවක් සිදු වෙනවා, අප මේකට ඡන්දේ දෙන්නේ නැහැ කීවා. 6.30ට ඡන්දය විමසන්න නියමිතව තිබුණේ. අවසානයේ සුළු කාලයක් ඇතුළත උත්තරීතර පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතියකින් සම්මත කරන පනත ඡන්දයෙන් හා ලැයිස්තුවෙන් පනහට පනහ වන ලෙස මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා ක්‍රමය සම්මත කළේ. එදත් මම ඒක අනුමත කළේ නැහැ. මම ඡන්දේ දුන්නෙත් නැහැ මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු හැටියට. එදා ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. නැත්නම් එදා මම ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.

පසුදිනක ජනාධිපතිතුමා ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සමඟ නති තනිවම ගාල්ලේදී සාකච්ඡාවක් කළා. මම එදත් එතුමාට පැහැදිලි කරලා දුන්නා මේ තත්ත්වය ගැන. එතුමා බොහෝම සාවධානව සවන් දීලා ඒක පිළිගත්තා. එහෙම ඉඳලා තමයි තිස් වැනිදා අලුත් ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාව කරන පාර්ලිමේන්තු කාරක සභාව පැවැත්වුණේ. ඊට කලින් දවසක මම කතානායකතුමා මුණ ගැසිලා මේ ඉවත්වීම පිළිබඳ දැනුවත් කිරීම පිළිබඳ හැකියාව විමසුවා. නමුත් 30 වැනිදා පාර්ලිමේන්තු දිනයක් නොවන නිසා එසේ කිරීමේ හැකියාව තිබුණේ නැහැ. මේකත් එක්ක තමයි ඉරිදා රාත්‍රියේ මා තනතුරුවලින් ඉවත් කරලා තිබුණේ. ඉවත් කිරීම හෝ ඉවත් වුණාද යන්න මට ගැටලුවක් නැහැ. මගේ හෘද සාක්‍ෂියට එකඟව මම කටයුතු කළා.

ව්‍යවස්ථා කමිටු අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න, අවස්ථාවේ ඉවත්වෙන්න හිතුවේ ඇයි?

30 වැනිදා ව්‍යවස්ථාවට අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මොහොත වන විට අපේ රටේ නිකායන් තුනෙහිම මහා නායක හිමිවරුන් ව්‍යවස්ථා සංශෝධන පනත මේ වෙලාවේ ගේන්න එපායි කියන ප්‍රකාශය නිකුත් කරලා තිබුණා. ඒ වගේම අපේ රටේ උත්තරීතර සංඝ සභාව, කතෝලික පූජකතුමන්ලා, අනිකුත් පූජකවරුන්, විද්වතුන්, මේ රටේ නොයෙක් සංවිධාන මේ බව දැනුවත් කර තිබුණා. මේ සේරම තියෙනකොට තමයි මේ ආණ්ඩුව 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඉතිහාසය ගත් විට මහ නායක හිමිවරුන් මේ ගැන ඉල්ලීමක් කළාම මෙවැනි තීරණ ආපසු හරවපු අවස්ථා තිබෙනවා. මේ ආණ්ඩුව ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව මේ ආකාරයෙන් හැසිරීම පිළිබඳ අපට සැකයක් ඇතිවෙනවා, මේ කාගේ හරි අවශ්‍යතාවක් තමයි මේ ආණ්ඩුව ඉෂ්ට කරන්නේ කියලා.

නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනය එපා කියලද ඔබ කියන්නේ?

සියලු දෙනාගෙ එකඟතාව මත ගෙනාවට කමක් නැහැ.

ඔබගේ පියා ඉතිහාසයේ ශ්‍රී ලනිපය සමඟ දැඩි සම්බන්ධකම් තිබුණු අයෙක්?

මගේ පියා දොම්පේ ආසනයෙන් දේශපාලනය ආරම්භ කළේ 1954 වසරේදීයි. 1960 වෙනකොට දොම්පේ ආසනයේ සභාපති වුණා. ඉන්පසුව 1980 වෙනකොට බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රජා අයිතිය නැති වුණාට පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරය භාර ගත්තා. 1982 කියන්නේ එජාපයේ ස්වර්ණමය යුගය හැටියට අපි විශ්වාස කරනවා. ඒ වෙලාවේත් ‍දොම්පේ ආසනය ඡන්ද 935කින් ජයග්‍රහණය කරවන්න මගේ පියාට හැකි වෙනවා.

කළ ගෙඩි ලාම්පු තරගයේදී අපට මතකයි එජාපය ඡන්දය මංකොල්ල කෑවා. 1987 පළමුවැනි පළාත් සභාවේදී ශ්‍රී ලනිපය ඒ ඡන්දය වර්ජනය කළා. ඒ වන විට දොම්පේ ශ්‍රීලනිප සංවිධායක අනුර බණ්ඩාරනායක මැතිතුමා. ඒ කාලයේ සියලු මැතිවරණ ජයග්‍රහණය කර දුන්නා ශ්‍රී ලනිපයට. 88/89 භීෂණ කාලයේදීත් අත්තනගල්ල දොම්පේ මහර බියගම වගේ ආසනවල ජවිපෙ මර්දන ක්‍රියාවලිය තුළ ශ්‍රීලනිප පවුල්වල තරුණ තරුණියන් මර්දනය කිරීමත් සිදුවුණා. ඒ වගේ කාලයකදී අපේ ආසනයේ තරුණයන් ආරක්‍ෂා කරන්න අපේ පියා කටයුතු කළා. 1989 සැප්තැම්බර් 2 වැනිදා මගේ පියා ඝාතනය කරන දවස වෙනකොට තරුණයන් 64 දෙනකුගේ ජීවිත ආරක්‍ෂා කර තිබුණා. ඒ කාලයේ බටලන්ද වැනි කාරණා මුල්කරගෙන වුණු සිදුවීම් මේවා.

මෙවැනි අත්දැකීම් තිබිලත් ඔබ මේ ආණ්ඩුවට එකතු වෙන්න හිතුවේ ඇයි?

අවුරුදු 60ක් ප්‍රධාන පක්ෂ 2 තට්ටු මාරුවට මේ රට පාලනය කළා. 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණය අගෝස්තු 17 මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මේ පක්ෂ දෙක එකතු වෙලා සංහිඳියා යහපාලන ආණ්ඩුවක් හදන බව කීවා. මටත් ඒ ගැන විශ්වාසයක් තිබුණා මේ පක්ෂ දෙකෙන් රටට යම් සේවයක් කෙරෙයි කියලා.
‍දොම්පේ ආසනයට සේවයක් කිරීමේ අවශ්‍යතාවක් තිබුණා. ඒ බලාපොරොත්තුවෙන් තමයි මේ ආණ්ඩුවට එකතු වුණේ. නමුත් තවදුරටත් එක්ව සිටියා කියලා ඒ සේවය කරන්න බැහැ. ඒ වගේම කියන්න ඕනෑ මම මේ අමාත්‍ය ධුරයෙන් අයින් වෙනකම් අමාත්‍යාංශ පවත්වාගෙන යන්න ස්ථානයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් තිබුණේ. මගේ බියගම කාර්යාලයේ සිට තමයි කාර්ය මණ්ඩලය ක්‍රියාත්මක වුණේ.

මේ විදියට ශ්‍රී ලනිපය කැඩී බිඳී ගියහම මැතිවරණයකදී යූඇන්පී එකට වැඩි වාසියක් අත්වෙන්න ඉඩකඩ තියෙනවානේ?

ගම බෙදිලා කීවාහම 50ට 50 නෙමෙයිනේ. අති බහුතරය ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කටයුතු කරනවා. අපි බොහොම පැහැදිලිවම කියනවා මැතිවරණ ජයග්‍රහණය කරන්න නම් සියලුදෙනා එකතුවෙලා යූ.ඇන්.පී. විරෝධී සටන ක්‍රියාත්මක කිරීම තමයි කළ යුත්තේ මේ වෙලාවේ. එකතු වෙනවා නම් සුවිශේෂී ජයග්‍රහණයක් කරා යන්න පුළුවන්.
ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් අප්‍රසාදයට පත් වුණු මේ වගේ ආණ්ඩුවක් තවත් තිබිලා නැහැ. ඒ නිසා මේක ඉතාමත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණයක්. එකතුවෙලා යන්න පුළුවන් නම් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්.

ඒකාබද්ධ විපක්ෂයට මැතිවරණය ජයගන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවාද?

ඒකාබද්ධ විපක්ෂය සන්ධානයක් හැටියට ඉදිරියේදී මැතිවරණයට මුහුණ දෙන්නේ.

ඒකාබද්ධය ප්‍රමුඛ කරගත් සන්ධානයටද ඔබ ඉදිරියේදී මැතිවරණයේදී සහයෝගය දෙන්නේ?

පළාත් පාලන මැතිවරණය සදහා යූ.ඇන්පී. විරෝධී පෙරමුණ ශක්තිමත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

ඔබ කියන්නේ එජාප විරෝධී කඳවුර ශක්තිමත් කිරීමට ශ්‍රී ලනිපයේ කොටස් දෙක එක්විය යුතුයි කියලද?

අනිවාර්යයෙන්ම එකතුවීම තුළ තමයි ශක්තිමත්ව එජාපයට මුහුණදෙන්න පුළුවන් වෙන්නේ. මාධ්‍යවල නම් යන්නේ එජාප ශ්‍රී ලනිපය එකතුවෙලා ඡන්දෙ ඉල්ලන්න යනවා කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රී ලනිපය හා ඒකාබද්ධය අතර සාකච්ඡා සාර්ථක වුණොත් ඉතා හොඳයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here