අපි එක පතේ කෑවත් බොක්ක වෙනස්. ඔරු පැද්දත් යටින් ගින්දර ගෙනියනවා.

0
177

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවාද සංශෝධන පමණක් ගේනවාද යන්න ගැන කිසිවෙක් කලබල විය යුතු නෑ. දරුවා බඩේ සිටින විට උප්පැන්න සෑදීමෙන් පලක් නැතැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනය කිරීම පහසු කටයුත්තක් නොවන බවත්, එසේ පහසු වූයේ නම් චන්ද්‍රිකා බණ්ඩාරනායකට සහ මහින්ද රාජපක්ෂටද එය කිරීමේ හැකියාව තිබුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේදී පෙරේදා (31දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි එක පතේ කෑවත් බොක්ක වෙනස්. ඔරු පැද්දත් යටින් ගින්දර ගෙනියනවා. ඒක නිසා විශේෂයෙන් අපි ප්‍රධාන පක්ෂ 2ක් සහ පක්ෂ කීපයක් එකතු වෙලා හදපු සභාග ආණ්ඩුවක්. මේක ජාතික ආණ්ඩුවක්. මෙතැනදි අපේ පක්ෂයේ මතය තමයි ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් විය යුතුයි කියන එක. සංශෝධන ගේනවද නව ව්‍යවස්ථාවක් ගේනවද කියලා අපි කලබල විය යුතු නැහැ. බබා හම්බ වෙනකන් ඉඳලා නම තියමු කියලා මම කියනවා. මාස දහයක් නෙවෙයි අවුරුදු හතක් සීවලී හාමුදුරුවෝ අම්මාගේ බඩ ඇතුළෙ හිටියනේ. ඒ වගේ වැඩක් තමයි මේකත් ලේසි නැහැ. මාස දහයෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගිහින් එකක් කියනවා. පිටරට නියෝජිතයෝ ආවහම තව එකක් කියනවා. ජනතාවට තව එකක් කියනවා. කැබිනට් එකේ තව එකක් කියනවා. එතුමන් ඉතින් සැබෑ බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කළා. කල් දැමීම, මඟ හැරීම, ඇඟටම ආවොත් සලකා බැලීම කළා. හැබැයි ඒ දේ මේකේ කරන්න බැහැ. මේ ආණ්ඩුවට වගකීමක් තිබෙනවා.
ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීම, ඒක විය යුතු දෙයක්, එක්කෝ නව ව්‍යවස්ථාවක්, එක්කෝ සංශෝධනයක්, මේ ගැන කතා කරලා අපේ පක්ෂයේ නායකයන්ට එකඟතාවකට එන්න පුළුවන්කම තිබෙනවා.

මහින්ද රාජපක්ෂ කියනවානේ ඔහු තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා. තවම උසාවි ගිහින් දික්කසාද වෙලා නැහැනේ. ජී. එල්. පීරිස් මහත්තයායි බැසිලුයි පොහොට්ටුවක් අටවා ගත්තට වැඩක් නැහැ, සංවිධායකවරුන් අස්කළාට ඔවුන්ව ආයෙත් ගන්න එක ප්‍රශ්නයක් නැහැ. මහගෙදරින් ගියාට පස්සේ රවුමක් ගහලා එන්නත් පුළුවන් මවුපියො දික්කසාද වුණාට දරුවන්ගේ මඟුල් ගෙදර එකට ඉන්නවා.ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා තරග කිරීම ගැන සාකච්ඡා පවත්වමින් යනවා.

පොහොට්ටු පක්ෂයේ සභාපති ජී. එල්. පීරිස් තමයි චන්ද්‍රිකා මැතිනියගෙ කාලෙ පැකේජ් එක හැදුවේ. ඒ පැකේජ් එක එදා ඉරලා දැම්මේ එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම තමයි ජී. එල්. පීරිස්, කෙහෙළිය රඹුක්වැල්ල 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමගාමී ලැයිස්තුව ගැන කතා කරලා තියෙනවා. අපි අහනවා ඔවුන්ගෙන් තර්ටීන් ප්ලස් දෙන්න පොරොන්දු වුණේ කවුද කියලා. හිටපු ජනාධිපති තමයි පොරොන්දු වුණේ. මෙවැනි පොරොන්දු දීලා අද මේ අය ගඟේ ගහගෙන යනකොට දේශපාලන වශයෙන් බංකොළොත් වෙලා තියෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන ව්‍යාපාරය හැම තක්කඩියකුගේම අවසන් තිත්පොළ තමයි ජාතිවාදය. අද සිවාජිලිංගම්ලා, ගම්මන්පිලලා, විමල් වීරවංශලා මහින්ද රාජපක්ෂගේ තිත්පොළ කරා කැඳවාගෙන ගිහිල්ලා තියෙනවා.

අපි ඒ ගැන කනගාටු වෙනවා. ජාතිවාදය පතුරුවලා ඔවුන්ට පුළුවන්කම තිබෙනවා මේ රට ගිනි ගොඩක් බවට පත් කරලා විනාශ කරන්න. මේ රටේ නැවත සිවිල් යුද්ධයක් ඇති කරන තැනට කටයුතු කරගෙන යනවා. අපි මහා සංඝරත්නයෙන් ඉල්ලනවා මේ නැති ව්‍යවස්ථාවක් ගැන අපි කතා නොකර අපි නව ව්‍යවස්ථාවක් හදමු. යළිත් මේ රටේ යුද්ධයක් ඇති නොවෙන්න, මේ රටේ ජාතීන් අතර සහයෝගය වර්ධනය කරන්න නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ඒ කියන්නේ අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීම වැදගත් කියලා මම සඳහන් කරනවා.

ඒ කාලේ ජී. එල්. පීරිස් ඔස්ලෝ ගිහිල්ලා රට බෙදන්න කතා කරපු අය තමයි මේ ජාතිවාදය වපුරන්නේ. නමුත් අපේ ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව තමයි මේ රටේ ජාතීන් අතර සමඟිය වර්ධනය කරලා, තමන්ට ලැබුණු ජනවරමට සාධාරණය ඉටු කිරීම.
අපි බලාගමු මැතිවරණයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි අත ලකුණින් තරග වදිනවා. ඒ තරග වැදීමේදී අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා.

ඒ වගේම තමයි ඩුලිප් විජේසේකර අපේ හොඳම මිත්‍රයෙක්. ඔහු යනවා කිය කිය තමයි හිටියේ. ඇදි ඇදී හිටියේ. ඔවුන්ට දේශපාලන පරිවර්තනයක් හෝ දේශපාලන වුවමනාවක් නැහැ. ඔවුන්ට තිබෙන එකම වුවමනාව ලබන සැරේට පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියලා. ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවක් ඔහුට තිබෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here