කැපිලි කෙටිලි බාධා කිරීම් දහසක් මැද ව්‍යවස්ථා විවාදයේදී මහින්ද කල ඓතිහාසික කතාව මෙන්න.. සැගවු රහස සභා මැද ලිහා පෙන්නයි..

0
406

2017 නොවැම්බර් මස දෙවන දිනබ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත.

ගරු සභාපතිතුමනි,

මේ ව්‍යවස්ථාදායක සභාව අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය පටන්ගත්තෙ මීට මාස 20කට පමණ කලින්. 2016 නොවැම්බර් මාසයේදී විවිධ යෝජනා අන්තර්ගත අනු කමිටු වාර්තා 06ක් පලවුණා. අපි අද විවාද කරන අතුරු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කලේ පසුගිය සැප්තැම්බර් මාසයේ. ඉදිරිපත් වී ඇති නිශ්චිත යෝජනා පිළිබඳව මම සවිස්තරාත්මක නිවේදන නිකුත් කර තිබෙන නිසා ඒ ගැන නැවතත් මෙතන කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

අපි මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට සහභාගී වුණේ බොහොම අවංකව. අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ගැන දේශපාලන පක්‍ෂ වල අදහස් විමසුවාම අපි ඒකාබද්ධ විපක්‍ෂය හැටියට අපේ අදහස් ලියල යැව්වා. අපි ඒකෙ කමිටුවලට සහභාගී වුණා. මේ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ගැන අපිට සැක නොතිබුණා නොවේ. යහපාලන ආණ්ඩුව බලයට ආපු අලුත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවයි කියලා ගෙනාපු 19 වන සංශෝධනයෙන් කරපු මහා වංචාව අපි දැක්කා.ඒත් අපි මේ ක්‍රියාවලියට සහභාගී වුණේ රට ගැන හිතලා.

නමුත් මේ ව්‍යස්ථා සම්පාදක ක්‍රියාවලියත් සිද්ධ වෙන්නෙ වැරදි විදියට. අනුකමිටුවලට සහභාගී වෙලා අපේ මන්ත්‍රීවරුන් දක්වපු අදහස් වාර්තා මුද්‍රණය කරන කොට හලලා. පසුගිය දවස් දෙකේ මේ විවාදය කරපු හැටි දිහා බලන්න. ආණ්ඩු පක්‍ෂයෙන් කියලා යූ.එන්.පී ඇමතිවරයෙක් කතා කරනවා, ඊට පස්සෙ විපක්‍ෂයෙන් කියලා ටී.එන්.ඒ මන්ත්‍රීවරයෙක් කතා කරනවා. අයෙමත් ආණ්ඩු පක්‍ෂයෙන් කියලා ශ්‍රිලනිප ඇමතිවරයෙක් කතා කරනවා. ඊළඟට විපක්‍ෂයෙන් කියලා ජේ.වී.පී මන්ත්‍රීවරයෙක් කතා කරනවා. මේ ඔක්කොම යහපාලන කුමන්ත්‍රණයේ හිටපු අය. මේ ඔක්කොම මේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙත් ඉන්න අය. මේ රටේ සබෑ විපක්‍ෂය වෙන ඒකාබද්ධ විපක්‍ෂයට මුලු දවසටම කතා ලැබෙන්නෙදෙක තුනයි.

මේ ව්‍යවස්ථා යෝජනා සාධාරණීකරනය කරන්න මේගොල්ලො කියනවා මමත් මගේ 2015 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් ව්‍යවස්ථාවක් ගැන සඳහන් කරල තිබුණයි කියලා. ඔව් තිබුණා තමයි. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය රට බෙඳන ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. මම හිතාගෙන සිටියෙ රට එක් සේසත් කරන ව්‍යවස්ථාවක් ගැන.2015 ජනාධිපතිවරණයේදීවත් පාර්ලිමේන්තු මැතිවරණයේදීවත් සම්පූර්ණයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න කිසිවෙකුටත් වරමක් ලැබුණේ නෑ.

මේ ඉදිරිපත් කර ඇති යෝජනා වලට අනුව අද මධ්‍යම ආණ්ඩුව හොබවන සෑම බලයක්ම සමාලෝචනයට ලක් කොට එය පළාත් ඒකක වලට පැවරිය හැකිනම්, එසේ පැවරීමට යෝජනා කරල තියෙනව. සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කරල ඒකෙ බලතලත් පළාත් වලට බෙදල දෙන්න යෝජනා වෙලා තියෙනව. ඒ ක්‍රියාදාමයෙන් පස්සෙ මධ්‍යම ආණ්ඩුවට ඉතිරිවෙන බලතල වුණත් ක්‍රියාත්මක කිරීමේ බලය හැකි සෑම අවස්ථාවකදීම පලාත් වලට පවරන්න යෝජනා වෙලා තියෙනව. ජාතික ප්‍රතිපත්ති හා ජාතික ප්‍රමිතීන් සම්පාදනය කිරීමේදීත් මධ්‍යම ආණ්ඩුවට හැම පළාත් සභාවකින්ම වෙන වෙනම මත විමසන්න වෙනව. ඉඩම් හා පොලිස් බලතල පමණක් නොව මුදල් බලතලත් පළාත් ඒකක වලට පැවරීමට යෝජනා වෙලා තියෙනව. මේ ආකාරයට පළාත් ඒකක වලට බලය පැවරුවාට පස්සෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් හා ජනමත විචාරණයකින් වත් ඒ බලතල ආපසු පවර ගන්න බැරි වෙන ආකාරයට විධිවිධාන සම්පාදනය කිරීමට යෝජනා වෙලා තියෙනව.

යෝජිත ව්‍යවස්ථාව යටතේ පළාත් වලට පැවරෙන බලතල මධ්‍යම ආණ්ඩුවට ආපසු පවරගන්න පුලුවන් වෙන්නෙ හැම පළාත් සභාවක් විසින්ම ඒ පවර ගැනීම අනුමත කරොත් විතරයි. මේ ඉදිරිපත් කරල තියෙන යෝජනා ඇත්තටම ක්‍රියාත්මක වුනොත් අද මේ සභාවේ සිටින මන්ත්‍රීවරුන් ඊලඟ වතාවේ පාර්ලිමේන්තුවට තරඟ කිරීමෙන් පලක් නැති වෙනව. සැබෑ බලය තියෙන්නෙ පළාත් සභා වල නිසා මේ සියලුම දෙනාටම පළාත් සභාවලට තරඟ කරන්න සිද්ධ වේවි.

උතුරු හා නැගෙනහිර පළාත්වල ෆෙඩරල් ඒකකයක් නැත්නම් ස්වාධීන රාජ්‍යක් ගොඩනැගීම 1950 ගණන් වල ඉදලම උතුරේ දේශපාලඥයින්ගෙ ප්‍රධාන ව්‍යාපෘත්ය වන බව අපි කවුරුත් දන්නව. වෙනම ෆෙඩරල් ඒකකයක් ඉල්ලා සිටීම පසුපස තිබුණු ජාතිවාදය වසන් කරන්න බලය බෙදීම උතුරු -නැගෙනහිරට පමණක් නොව අනිත් පළාත් වලටත් සෙත සලසන ක්‍රියාදාමයක් හැටියට හුවා දක්වන ප්‍රවනතාවය ඒකාලයේ ඉඳලම තිබුණා. උතුරේ දේශපාලන කණ්ඩායම් වැඩි වැඩියෙන් බලය බෙදීම ඉල්ලා සිටින විට වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් නියෝජනය කරන දේශපාලන පක්‍ෂ නායකයනුත් වැඩි සෙවිල්ලක් බැලිල්ලක් හෝ කල්පනා කිරිල්ලක් නැතුව ඒකට ඔලුව වනන ප්‍රවනතාවයක් තිබුණා.

නමුත් දැන් දංගෙඩියට බෙල්ල තියන මොහොත ඇවිත් තියෙන නිසා වෙනත් ජනවාර්ගික හා ආගමික කණ්ඩායම් වල නායකයන් මේ යෝජනා වලින් තමන් නියෝජනය කරන ජන කොටස් වලට ඇති පැහැදිලි අනතුර ගැන කල්පනා කිරීමට පටන්ගෙන ඇතැයි කියල මම සිතනව. මාස 20ක් තිස්සේ සාකච්ඡා කිරීමෙන් පසුවත් යෝජනා එකතුවක් පලකිරීමෙන් එහාට මේ ක්‍රියාදාමය ඉදිරියට ගිහිල්ලා නැත්තෙමේ නිසා වෙන්න පුලුවන්. මෙහෙයුම් කමිටුවේ 21 දෙනාගෙන් 15 දෙනෙක්ම අතුරැ වාර්ථාව තුල විකල්ප මත ඉදිරිපත් කරල තියෙනව ඵ් වගේම 5 වන වගන්තියට ශ්‍රී ලංකාවේ දේශසීමාව නීර්ණය කිරිමේ බලය බාර දිමට ඇති යෝජනාවට අපට ඵකග විය නොහැක.

උතුරේ දේශපාලඥයන්ට බලය බෙදීම කියන සංකල්පයෙන් ප්‍රයෝජනයක් තිබුණත් අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ වලට එයින් ඇති වන්නේ අගතියක් පමණයි. මේ අතුරු වාර්තාවෙ යෝජනා කරලා තියෙන හැටියට උතුරු-නැගෙනහිර පළාත්දෙක, තනි පළාතක් හැටියට සැලකීමේ යෝජනාවට මුස්ලිම් ප්‍රජාවට එකඟ වෙන්න පුලුවන්ද? 1987 දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බිහිවුනෙත් උතුරු- නැගෙනහිර පළාත් එක් කිරීමට විරුද්ධවයි. දෙමළ ජාතිවාදීන්ට උතුරේ සම්පූර්ණ බලය හිමිවී තිබුණ සමයේ මුස්ලිම් ජනතාවට සලකපු ආකාරය ඔවුන්ට තවම අමතක වෙලා නැතුව ඇතැයි කියල මම හිතනව. ඒ කාලේ නැගෙනහිර පළාතෙ මුස්ලිම් වරුන්ටත් ඒ ඉරණමම අත් නොවුනෙ ඒ ප්‍රදේශවල යුද හමුදාව හිටපු නිසයි.

උතුරු-නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකෙරුවොත් නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ ජනතාවට පවා බලය බෙදීමෙන් සිද්දවෙන්නෙ සුගතියක් දැයි ඔවුන්ගෙන්ම අහල බලන්න ඕන. අපි උඩරට පළාත්වල ජීවත්වන ද්‍රවිඩ ජනතාව ගත්තොත් ඒ ජනතාව වෙනම රාජ්‍යයන්ට සමාන බලතල හොබවන පළාත් සභා දෙකක්, තුනක් නැතිනම් ඊටත් වඩා වැඩි ගණනක් අතරෙ බෙදිල යන එක ගැන ඒ ජනතාවගේ නායකයන් මොනවද හිතන්නෙ? ඒ එක් එක් පළාත් සභාව තුළ ජීවත් වන උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ආරවුලක් නිරාකාරණය කිරීමට හෝ දුක්ගැනවිල්ලක් ගැන සොයා බැලීමට මැදිහත් වීමක් කිරීමටවත් මධ්‍යම ආණ්ඩුවට බලයක් නැති තැන ඒ විදියට නොයෙක් පළාත් සභා අතර ඒ ජනතාව බෙදිල යාමේ අනිසංශ මොනවද කියල ඒ නායකයො කල්පනා කරල තියෙනවද?

දෙමළ ජාතික සංධානයේ දේශපාලන පක්‍ෂ හැරුණ විට අනෙක් සියලුම ජනවාර්ගික හා ආගමික පදනමක් ඇති දේශපාලන පක්‍ෂ මේ වනතෙක් සොයා ගියේ මධ්‍යම ආණ්ඩුවේ බලයයි. මේ ඉදිපත් වී තිබෙන යෝජනා ක්‍රියාත්මක වුවහොත් මධ්‍යම ආණ්ඩුවට සියලුම බලතල අහිමි වනව. ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන බලය බෙදීමේ යෝජනා සාධාරණීකරනය කරන්න ඒගොල්ලො කියනවා මම “තර්ටීන් ප්ලස්” දෙනවයි කිවුවලු. මේගොල්ලො තර්ටීන් ප්ලස් කිවුවාම අදහස් කරන්නෙ රට බෙදන එක. තර්ටීන් ප්ලස් කියන එකෙන් මම අදහස් කලේ, දෙවෙනි මන්ත්‍රී මණ්ඩලයක් වැනි ආයතන තුළින් රටේ සියලු ජන කොටස් තව තවත් මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට සහභාගී කරවා ගැනීමයි.

ඉන්දියාවෙ දෙමළ ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ තමිල්නාඩුවෙ. නමුත් ලංකාවෙ දෙමළ ජනතාවගෙන් බහුතරය සථිරව පදිංචි වෙලා ඉන්නෙ උතුරු-නැගෙනහිර පළාත් වලින් පිට. නැගෙනහිර පළාතෙ සෑහෙන මුස්ලිම් ජනගහනයක් හිටියත්, මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වෙන්නෙ නැගෙනහිර පළාතෙන් පිට. මේ රටේ ජාතිවාදී හෝ ආගම්වාදී පදනමක් මත ස්වාධීන රාජ්‍යයකට හිමි තරමේ බලතල තියෙන ෆෙඩරල් පාලන ඒකක ඇති කිරීමෙන් සිද්දවෙන්නෙ ඒ එක් එක් ඒකක තුළ ඉන්න විවිධ ජනවාර්ගික හා ආගමික කොටස් වලට අගතියක් සිදුවීමයි.

මේ බලය බෙදීමේ යෝජනා අත්හැර, ඒ ගොල්ලන් 2015 ජනාධිපතිවරණයේදී ජනතාවට දුන් ව්‍යවස්ථාමය ප්‍රතිඥා දෙක පමණක් ක්‍රියාත්මක කරන්නැයි මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.වි‍ධායක ජනාධිපති ක්‍රමයේ අනාගතය පිලිබද රජයේ සමුහික ස්ථාවරය ඉදිරිපත් කල පසු මේ ගරු සභාවේ අවධානය යොමුවෙන්න ඕන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැනයි. පසුගිය මාස දෙක තුළ පාළාත් පාලන හා පළාත් සභා සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කෙරුවෙ අත්තනෝමතික හා අවිධිමත් විදියටයි. මේ නිසා ඉදිරියේදීරට පාලනය කරන ආයතන තුළ බරපතල අස්ථාවර භාවයක් ඇතිවෙන්න ඉඩ තියෙනව.

මීට කළින් පළාත් පාලන ඡන්ද ක්‍රමයත්, පළාත් සභා ඡන්ද ක්‍රමයත් වෙනස් කරලා ඡන්ද කල් දමන්න ආණ්ඩුව අනුගමනය කරපු ක්‍රියාවලියම ව්‍යවස්ථාව සම්බන්දයෙනුත් අනුගමනය කරාවිය යන බරපතල සැකය කා තුළත් තියෙනවා. මගේ නායකත්වය යටතේ තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරී පත්වෙලා ආණ්ඩුවේ ඇමතිකම් දරණ අය 40 කට වඩා ඉන්නවා. මේ අයට පුලුවන් ව්‍යවස්ථාවට ඡන්දය නොදී ඉඳල ඒක පාර්ලිමේන්තුව තුළම පරාජය කරන්න.

මගේ ආණ්ඩුව විසින් යුද්දයෙන් පසු උතුරු පළාතේ දියත් කල ව්‍යාපෘති හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්වය, රැකියා නියුක්තිය, හා අධ්‍යාපනය දියුණු වුණා. නමුත් දැන් උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් පසෙක ලා උතුරේ දේශපාලඥයන්ගේ අවශ්‍යතාවයන් ඉටුකිරීමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල්තැන දීල තියෙන්නෙ 2015 ආණ්ඩු වෙනස ඇති කිරීමේ කුමන්ත්‍රණයට උදවු දුන් අභ්‍යන්තර හා භාහිර බලවේගවලට ණය ගෙවීමක් ලෙස කියලයි මම හිතන්නෙ.

ස්තුතියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here