ශ්‍රීලනිපය – ඒකාබද්ධය අතර සටන් විරාමයක්: මහින්ද සමග අවසන් මොහොත තෙක් සාකච්ඡා

0
349

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා පවසයි.

මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලහි ලහියේ සුදානම් වන බවත් ඒ සඳහා නව සංවිධායකවරුන් පත් කිරීම මෙන්ම මැතිවරණ බල ප්‍රදේශවල ශාඛා ප්‍රතිසංවිධාන කටයුතු, ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන, පළාත් සම්මේලන හා ජාතික සම්මේලන ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

පුළුල් සන්ධානයකින් එළැඹෙන මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්ව සිටින කොටස් සමඟ සටන් විරාමයකට සූදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්වී ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට සාකච්ඡා අරඹා ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා එය අවසාන මොහොත දක්වා සාකච්ඡා කර එකඟතාවයකට එළැඹීමට සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ තුන්වන තැනට පත්වී තිබූ අවස්ථා ඇති බවත් කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“අපි ඉස්සෙල්ලාම අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනවා කියන එක ප්‍රාදේශීය පාලනයේදී අපි ඉස්සෙල්ලාම බලන්නේ අපෙන් කැඩී ගිය කොටස් එකතු කරගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක්ක වුණත් සාකච්ඡාවක් යනවානම්. එතුමා හම්බෙච්ච වෙලෙත් මම යෝජනා කළේ එහෙම යනවානම් මම එතුමාටත් කිවවේ අපි බිම හදාගමු ඉස්සෙල්ලාම. ඉස්සෙල්ලා සටන් විරාමයක්. සටන් විරාමයක් තුළ එතුමාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සභාපතිලා උප සභාපතිලානේ වැඩිය ඉන්නේ පළාත් පාලන ආයතනවල. ඒ ගොල්ලන්ගේ ජයග්‍රහණයත් සහතික වෙනවා. අපිට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන්ද කියලා පළාත් පාලන ආයතනවල අපි උත්සාහ කරන්නේ. අපි සියලු දෙනා ජයග්‍රහණය කරලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන එක අපිට පුළුවන් අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානය තියෙනවා. අපිට වුවමනා තැන්වලදී නිල්පාට අත ලකුණින් එන්න පුළුවන්. අපිට පොදු පෙරමුණෙන් එන්න පුළුවන්. වෙන තැන්වලට අපිට බුලත්කොළෙන් එන්න පුළුවන්. අපිට ඒකට මහින්ද මහත්තයා කියලා ඒක අහක දාන්න පුළුවන්කමක් නැහැ.“

පළාත් පාළන මැතිවරණය අහෝසි කිරීමටවත් කල් දැමීමටවත් කිසිම අවශ්‍යතාවයක් ශ්‍රිලනිපයට නොමැති බවත් එය ඉතාම ඉක්මනින්ම පවත්වන්නට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here