පුළුවන්නම් බෝම්බ ගහපන්. අපි ජනතාව සමඟ එකතුවී ව්‍යවස්ථාව සම්මත කරනවා – ඩිලාන් පෙරේරාගෙන් අභියෝගයක්

0
369

ඩලස් අලහප්පෙරුම ඊයේ පැවැති විවාදයට එක්වෙමින් “ඇමෙරිකානු යුද නැවක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා තිබෙනවා” යි කීවේය.
යුද නැව් හා මේ ව්‍යවස්ථාව අතර සම්බන්ධය කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂයේ අශෝක් අබේසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ඇසුවේය.
“ඒක ඔබතුමා හොයා ගන්න.”

“ඔබතුමා පැටලෙන්න යන්න එපා. කතාව කරගෙන යන්න.” කතානායකවරයා උපදෙස් දුනි.
“නැහැ. මං පැටලෙන්න යන්නේ නැහැ. එතුමාට අයිතිය තියෙනවා එතුමාගේ අශීලාචාරකම පෙන්වන්න” ඩලස්ගේ එම වදනට පසු අශෝක් අබේසිංහ බාධා කළේ නැත.
ඩලස්ගේ කතාවේ මුල් කොටස දිවා ආහාරයට පෙර අත්හිටුවීමට සිදුවිය. කතානායකවරයා පැය භාගයක කාලයක් සභාවේ කටයුතු නවතා මුලසුනෙන් ඉවත්ව ගියේය.
ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයා ජේ.ආර්. ජයවර්ධනත් වැරදියි. මහින්ද රාජපක්‍ෂත් වැරදියි. දැන්වත් අපි එකතු වෙලා හරි දෙයක් කරමු” යැයි ඩලස්ට යෝජනා කළේය.
“මේක තමයි ඒකට හොඳම ආණ්ඩුව” ඉරාන්ට තරමක් අෑත සිටි විජයකලා මහේෂ්වරන් නියෝජ්‍ය ඇමැතිනිය කීවාය.
“ඔහොම කියන්න එපා. ප්‍රභාකරන් ඔබතුමියගේ පස්සෙන් එයි.” කීවේ ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රසන්න රණවීරයි.

“ප්‍රභාකරන් එන්න තමයි ඕනෑ.” යි කියමින් විජයකලා සභාවෙන් පිටතට යන විට “ඔය යනවද?” කියමින් ඒකාබද්ධ මන්ත්‍රිහු හඬ නැඟූහ.
දිවා භෝජනයට ගිය මංගල සමරවීර ඇමැතිවරයා සිය නිල කාමරය දෙසට යමින් සිටියේය. ඇමැතිතුමා අයවැයෙන් මොනවද දෙන්නේ?” මාධ්‍යවේදියකු මංගලගෙන් ඇසුවේය.
“පසුගිය ආණ්ඩුව ගත්ත ණය මේ තරම් තියෙද්දී මොනවා දෙන්නද?” මංගල සිනාසෙමින් පිළිතුරක් නොව ප්‍රශ්නයක්ම ඇසුවේය.
ඩලස්ගෙන් පසු කතාවට අවස්ථාව ලැබුණේ මුදල් ඇමැති මංගල සමරවීරටයි. දෙදෙනාම මාතර දිස්ත්‍රික්කයේය. ඩලස් අලහප්පෙරුම සුදු නෙලුම් ව්‍යාපාරය සමඟින් ඒකීය නොවන ව්‍යවස්ථාවක් වෙනුවෙන් ගමින් ගමට ගිය හැටි ගැන සිහි කරමින් මංගල කතාව පටන් ගත්තේය.

මංගලගෙන් පසු අවස්ථාව ඩිලාන් පෙරේරා ඇමැතිවරයාට ලැබිණි. නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට වටා තමා සමඟ ගමින් ගමට ගිය ඩලස් අලහප්පෙරුම, මංගල සමරවීරගෙන් පසු කතාවට අවස්ථාව ලැබීම දෛවෝපගත කරුණකැයි කියමින් ඩිලාන් කතාවට මුල පිරුවේය.
“අපිත් එක්ක එකට කන දෙමළ මනුස්සයාගේ භාෂාවෙන් ජාතික ගීය කියන්න අවුරුදු 67ක් ගියා.” ඩිලාන් කීවේ කිසියම් වේදනාවකිනි.
ව්‍යවස්ථාව සම්මත කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට මන්ත්‍රිවරයකු සිදුකර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන ඩිලාන් සිය සුපුරුදු වාග් විලාසයෙන්ම පිළිතුරු දුන්නේය.

“ජනතා නියෝජිතයෝ ඉන්න පාර්ලිමේන්තුවට බෝම්බ ගහන එවුන්ට කියන්නේ තොපිලට බැහැ අපි බය කරන්න. බෝම්බවලට බය නම් අපි දේශපාලනය කරන්නේ නැහැ. අහිංසක දෙමළ දරුවෝ, මවුපියෝ මරනවා. දෙමළ මිනිසුන්ගේ හරකා, කුකුළා, එළුවා අරගෙන යනවා දැකලා සන්තෝෂ වුණා කියලා කියපු කාලකණ්ණි අද රැස්වීම් තියනවා. තු– නොදකින්. අපි උන්ගේ මතය පරද්දන්න ඕනෑ.”

“පුළුවන්නම් බෝම්බ ගහපන්. අපි ජනතාව සමඟ එකතුවී ව්‍යවස්ථාව සම්මත කරනවා. ඩිලාන් පෙරේරා අභියෝගයක් කරමින් කීවේය.
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ සභාපති අගමැති රනිල් වික්‍රමසිංහට ප්‍රශංසා කිරීමටත් ඩිලාන් අමතක කළේ නැත.
” සියලු කොටස් ඒකරාශී කරගෙන ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ නායකත්වය අරගෙන අගමැතිතුමා ක්‍රියා කළා.”
එසේ ප්‍රශංසා කළත් අගමැති සමඟ ඩිලාන්ට ප්‍රශ්න ඇති බවකි.

අගමැතිතුමා එක්ක මට වෙන ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක මං එළියේ බේරා ගන්නවා යැයි ද ඩිලාන් කීවේය.
“පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවායි ගිය සතියේ ප්‍රකාශ කළ එතුමා දැන් ඇවිල්ලා ඉන්නවා. මේ සභාවේ අපට භීතියක් තියෙනවා. අපට ආරක්‍ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කතානායකතුමනි” කියමින් නලීන් බණ්ඩාර මන්ත්‍රිවරයා කළේ කතානායකවරයාට පැමිණිල්ලකි.
ඇමැති රාජිත සේනාරත්න ව්‍යවස්ථා සංශෝධන හා නව ව්‍යවස්ථා අවශ්‍ය බවට විවිධ දේශපාලන නායකයෝ කරන ලද ප්‍රකාශ උපුටා දක්වමින් කතා කළේය.
මහජන ඡන්දයෙන් සියයට 60ක් ද පක්‍ෂ නායකත්වයෙන් සියයට 40ක් ද පත් කළ යුතු බවට යෝජනාවක් ඇතැයි පැවැසූ ඇමැති රාජිත තමාට නිදහස් අදහස් ඉදිරිපත් කළ හැකි නිසා ඒ යෝජනාවට එදත් අදත් විරුද්ධ බව කීවේය.
සියයට 40ක් නායකයෝ පත් කළොත් නායකයෝ පත් කරන්නේ ගැත්තෝ. වාමාංශික පක්‍ෂ පත් කර ගන්නෙත් ගැත්තෝ…. යූ.ඇන්.පී. එක පත් කරන්නේ ගැත්තෝ. ජනතාවගෙන් සියයට 60යි. ගැත්තෝ සියයට 40යි. මා ඒකට අදත් එදත් විරුද්ධයි.” රාජිත ඇමැතිවරයා දැඩි ස්ථාවරය ප්‍රකාශ කළේ ඒ අයුරිනි.
ඩිලාන් පෙරේරා කතා කරගෙන යන විට ආශු මාරසිංහ මන්ත්‍රිවරයා සිනාසෙමින් සිටිනු දැක්කේය. “මේ මාරසිංහ මන්ත්‍රිතුමාත් බෙදන්න කතාකරන කෙනෙක්. එතුමාට තවම එතුමාගේ පරණ ගුරුවරයාගේ ආභාෂය තියෙනවා.

ආශු සිනාසෙමින් සිටියා මිස ඩිලාන්ට ප්‍රතිචාර දක්වන්න ගියේ නැත.
විධායක බලය සහිත ජනාධිපති ධුරය වෙනුවට විධායක බලතල සහිත අගමැති ධුරයක් නිර්මාණය කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව තිබූ බව වාසුදේව නානායක්කාර මතකයට නැංවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here