හිටපු ඇමැති ජොන්ස්ටන්ට එරෙහි නඩු දෙකක විභාග ජන: 11දාට කල් දමයි

0
161

සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩු දෙකක් විභාග කිරීම ජනවාරි මස 11 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.

2010 වසරේ සිට 2014 දක්වා කාලසීමාව තුළ සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදීම තුළින් වත්කම් හා බැරකම් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාට එරෙහිව නඩු 05ක් ගොනුකර තිබිණි.

ඉන් නඩු තුනකට අදාළව මූලික විරෝධතා මතු කළ විත්තියේ නීතිඥවරු මෙම නඩු අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති ආකාරය නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් ඒවා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම මූලික විරෝධතා පිළිගන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝග නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මේ හේතුවෙන් ඊයේ (26දා) දින කැඳවූ නඩු දෙක ජනවාරි මස 11 වැනිදා දක්වා කල් තබන බව ප්‍රකාශ කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉහත නියෝගය පරිදි මෙම නඩු දෙක ඉදිරියට පවත්වා ගෙන යෑමට ඉඩ දෙන්නේද? යන්න තීන්දු කරන බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here