කඩුව රත්තරන් කියලා ඇනගන්න බැහැ

0
256

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාක්ෂිකයන් අසරණ කරමින් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් සිදු කරන්නේ නම් ඔහු කොපමණ හොඳ වුණත්, ජනතාව ඔහුට කොපමණ ආදරය කළත් අකැමැත්තෙන් හෝ ඔහු පැත්තකින් තැබීමට සිදුවන බවත් එසේ නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනාගතයක් නොමැති බවත් එම පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා අනුරාධපුර රඹෑව වහමලගොල්ලෑව ප්‍රදේශයේ පෙරේදා (25දා) පැවැති ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පරදුණා කියලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයා පැරදිලා නෑ. අපි මහින්ද මහත්තයාට කැමැතියි ආදරෙයි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දව ගන්න පුළුවන්කමක් නෑ. ඇත්තම කතාව ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ආයෙත් වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්න බෑ. අගමැති වෙන්න පුළුවන්කමකුත් නෑ. ඒ නිසා මහින්ද මහත්තයාට කොච්චර ආදරේ වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයා හදන පක්ෂයකට හෝ එතුමා නියෝජනය කරන පාර්ශ්වයකට මේ රටේ බලයක් ලැබෙන්නේ නෑ.

ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන කොට්ඨාසයේ මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරයෙක් වුණොත් තමයි එයාගෙන් ගමට වැඩක් කර ගන්න පුළුවන්කම තියෙන්නේ. එයා අපි ආදරය කරන ජනප්‍රිය නායකයා නියෝජනය කළා කියලා අපේ ගමට සංවර්ධනය ගේන්න පුළුවන්කමක් නෑ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙපාරක් ජනාධිපති කරලා එතුමා එක්ක අපි අවුරුදු 10ක් හිටිය බව ඇත්ත, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තුන්වැනි වතාවටත් එතුමා ජනාධිපති කරන්න ඡන්දය දුන්න බවත් ඇත්ත. නමුත් ඡන්දය දුන්නාට එතුමා මැතිවරණයෙන් පැරදුණා. ඒ මැතිවරණයෙන් බලය ලැබුණේ අපේම පක්ෂයේ ලේකම්තුමාට නම් අපි මේ ගමන නවත්වන්න ඕනකමක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ගමේ බෙදිලා වැඩක් නෑ.

පක්ෂයෙන් කෑල්ලක් කැඩුණොත් වෙන්නේ අපි පරාදවීමයි. අපි පැරදුණොත් දිනන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණා කියලා අපිට පාඩුවක් වෙලා නෑ. එතුමාව අපි පක්ෂ සභාපති විදියට පිළිගත්තා, එතුමාට අපි කතිරය ගහලා ජනාධිපති කරගෙන එතුමාගෙන් අපි වැඩ කර ගත්තා. හැබැයි මේ රටේ ජනතාව අති බහුතරයක් මහින්ද රාජපක්ෂ මහත්තයාව පරාද කළාට පස්සේ කඩුව රත්රන් කියලා ඇන ගෙන හරියන්නේ නෑ. දැන් අපිට ඕනකම තියෙන්නේ මේ පක්ෂය ශක්තිමත් කරන්නයි. මේ පක්ෂයේ වර්තමාන සභාපතිවරයා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා. එතුමාත් මේ පාර ජනාධිපතිකමේ ඉඳලා මේ අවුරුදු 05න් එතුමා විශ්‍රාම ගියොත් අපි ඊළඟට එන නව සභාපතිවරයා එක්ක ඉස්සරහට මේ පක්ෂය අරගෙන යන්න ඕනෑ. එහෙම නැතිව මෛත්‍රිපාල මහත්තයා ආයේ එන්නේ නෑ ඒ නිසා අනේ අපොයි අපි ඉවරයි කියන්න බෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here