මෛත්‍රිපාල සිරිසේන මහතාට නැවත වරක් ජනාධිපතිවරණයකට පෙනී සිටීමට කිසිදු සදාචාරමය අයිතියක් නෑ

0
134

මෛත්‍රිපාල සිරිසේන මහතාට නැවත වරක් ජනාධිපතිවරණයකට පෙනී සිටීමට කිසිදු සදාචාරමය අයිතියක් නොමැති බවත්, නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් ඔහු පරාජය කිරීමට කටයුතු කරන බවත්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා දුන් පොරොන්දුවලට අනුව රටේ නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට හෝ විධායක ජනාධිපතිවරයෙක් පත්වීමට කිසිදු හැකියාවක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවතින වුවමනාව හේතුවෙන් ඔවුන් රට හමුවේ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවත් පෙන්වා දෙයි.
සිල්වා මහතා මේ බව පැවැසුවේ ඊයේ (25දා) පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදීය. ඔහු මෙසේද පැවැසීය.

රටේ පවතින ව්‍යවස්ථාව නරක නම් රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා වන රටට වාසි ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි. නමුත් එවැනි ආකාරයක ව්‍යවස්ථාවක් හැදෙයි කියලා අපි හිතන්නෙ නැහැ. නමුත් විධායක ජනපති ධුරය අහෝසි කරන අලුත් මැතිවරණ ක්‍රමයක් සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි.

හෙට රට බෙදයි කියලා එක කණ්ඩායමක් කෑ ගහනවා. මේ සංවාදය හදලා තිබෙන්නේ පරාජයට පත්වූ බංකොළොත් දේශපාලන කණ්ඩායමක් විසින්. කෙටුම්පතක් සකස් කළාට පසුව ඒ ගැන සංවාද කරන්න පුළුවන්. නමුත් දැන් අලුත් ව්‍යවස්ථාවක් හදන්න සියලුම දෙනාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ජනතාවට තිබෙන ඇත්ත ප්‍රශ්න යටගහන්න මෙම ව්‍යවස්ථා මාතෘකාව උඩට අරගෙන තිබෙනවා. ආණ්ඩුවටත් මේ සංවාදය වාසිදායක වෙලා.
වීරවංශ මන්ත්‍රිවරයා ගැන කතා කිරීම වැඩකට නැති දෙයක්. ඔහු ජනතාව ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා ඉවරයි. ඒ වගේම දේශපාලන තක්කඩියෙක්. ඔහුගේ ප්‍රකාශ ගනන් ගන්න දෙයක් නැහැ. ව්‍යවස්ථා සම්මත කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගසන්නැයි විමල් වීරවංශ කියන විට මහින්ද රාජපක්ෂත් එක්ක ඉන්න කමල් ගුණරත්න කියනවා ව්‍යවස්ථාවට අත උස්සන ඇමැතිවරුන්ට වෙඩි තියලා මරන්න ඕන කියලා. මහින්ද වටේ ඉන්නේ මොන තරම් සාහසික බලවේගද කියන එක පැහැදිලියි.

මහින්ද රාජපක්ෂ වසර 9ක් බලයේ හිටියා. ඔහුට තිබුණු 2/3 බලය පාවිච්චි කරලා 13 ඉවත් කරන්න කටයුතු කළේ නැහැ. රටට අහිතකර දේවල් ඉවත් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කෙළේ 2/3 බලය පාවිච්චි කරලා තමන්ට තවදුරටත් ජනාධිපති ධුරයේ ඉන්න බලය වැඩිකරගත්ත එක. රට ගැන හිතුවේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයේ ඉන්න කාලයේ උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කර තිබූ ගැසට් නිවේදනය දිගින් දිගටම අස්සන් කළා. උතුරු නැඟෙනහිර වෙන් කරන්න කටයුතු කළේ ජවිපෙ නීතිමය ක්‍රියාමාර්ග නිසා. එදා රටට හානිකර දේවල් ඉවත් කරන්නේ කිසිවක් නොකළ මහින්ද රාජපක්ෂ අද බොරුවට කෑ ගහනවා.
ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් පිරීම ගැන
සිල්වා මහතා මෙසේද පැවැසීය.

රුසියාව තමන් ගැන විතරක් හිතපු රාජ්‍යයක් නෙවෙයි. ලෝකයේ බොහෝ දිළිඳු රටවලට ආධාර දුන්නා.
රුසියාව එවැනි විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කරගනිද්දී 1948දී නිදහස ලබාගෙන වසර 70ක් වෙලත් අද අපේ රට කොහෙද තියෙන්නෙ. ආර්ථිකය බිඳ වැටිලා මුළුමනින්ම ණයවලින් දුවන රටක් බවට පත්වෙලා තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here