ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ එකම අරමුණ දෙමළ ජනතාවට කිසිවක් නොදිය යුතුය යන ගතානුගතික මතයයි

0
166

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ එකම අරමුණ දෙමළ ජනතාවට කිසිවක් නොදිය යුතුය යන ගතානුගතික මතය බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ කාලෝචිත නොමැති බවට සංඝයා වහන්සේලා හා සමහර දේශපාලන නායකයන් සිදුකරන ප්‍රකාශයන්ට මාධ්‍ය වෙතින් ප්‍රතිචාර දක්වමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා මෙසේද කීය.
දෙමළ ජනතාවගේ ගැටලුවලට අද වනතෙක්ම නීත්‍යනුකූල විසඳුමක් හෝ හිමිකමක් නොලැබීමට වඩා දෙමළ ජනතාවට කිසිවක් නොදිය යුතුය යන මතයම බොහෝදුරට වර්තමාන තත්ත්වයට හේතුව වී තිබෙනවා. බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම් ඉරා දැමීමට හේතුවද එයයි. එමෙන්ම ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුම ගිලිහී යෑමටද එයම බලපෑවා. දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබාදීමට එක් අයකු උත්සාහ දරනු ලබනවිට ඒ සෑම අවස්ථාවකදීම තවත් අයකු එය වැළැක්වීමට උත්සාහ දැරුවේ මේ හේතුවම නිසයි.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් දෙමළ ජනාතාවගේ ගැටලුවලට විසඳුමක් ලබාදීමට උත්සාහ කළ බව පැවැසීමට අපිට නොහැකියි. 2000 වසරේ චන්ද්‍රිකා මැතිනිය ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ නියෝජිතයෝම එම කෙටුම්පත පුලුස්සා දමමින් ඊට විරෝධය දැක්වූවා.
ඉතිහාසය දෙස බැලීමේදී මෙරට දෙමළ ජනතාවට කිසිදු අයිතිවාසිකමක් ලබා නොදිය යුතුය යන ස්ථාවරයේ ඇතැම් නායකයන් සිටි අතරම වර්තමානයේද එවැන්නන් සිටින බව දක්නට පුළුවන්. එහෙත් භික්ෂුන් වහන්සේ තුළ එවැනි මතයක් තිබුණේ නැහැ. මෙහි මූලාරම්භය දැන ගැනීමට නම් අපිට 1919 වර්ෂයට යෑමට සිදු වෙනවා.
කොතරම් දුරට මෙරට සිංහල – දෙමළ ජනතාව ඒකාබද්ධ ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කරයිද, එම ඉල්ලීම් ලබාදීමට බ්‍රිතාන්‍යයන් සිතා සිටියා. විශේෂයෙන් අනකුත් පාර්ශ්වවලට ලබාදෙනු ලබන අවස්ථා හා සාමුහිකව ඉල්ලනු ලබන ඉල්ලීම් කෙරෙහි වැඩි අවධානය ඔවුන් යොමු කළා.
එවක උතුරු පළාත් ජනතා සංගමයේ නායකයා ලෙස කටයුතු කළේ සභාපති මහතායි. සෑම පළාතකම මැතිවරණ පවත්වා එම පළාතට එක් එක් නියෝජිතයා තෝරා ගත යුතු බව පැවැසුවා. නමුත් සභාපති මහතා පෙන්වා දුන්නේ එය සාධාරණ නොවන අතර සෑම ජාතියක්ම නියෝජනය වන පරිදි නියෝජිතයන් පත් කළ යුතු බවයි. බ්‍රිතාන්‍යයන් ඒ වනවිටත් මෙරට පාලනය කළේ ඒ ආකාරයටයි.

කෙසේ හෝ එය සිංහල නායකයන් විසින් ප්‍රාදේශීය මැතිවරණයකට පරිවර්තනය කරනු ලැබුවා. ඔවුන්ගේ යටි අරමුණ වුණේ සම්පූර්ණ බලය තමන් සතු කර ගැනීමයි. නමුත් ඊට පොන්නම්බලම් අරුණාචලම් මහතා විරෝධය දැක්වූවා. ඒ නිසා ඔහුට ‘යාචකයා’ යන නාමයද පටබඳිනු ලැබුවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ විවිධ උසස් තනතුරු ලැබූවෙක් වූ අරුණාචලම් මහතාට ජනතාවගේ මහත් ප්‍රසාදයක් හිමිව තිබුණා. ඒ වගේම ඔහු සිංහල නායකයන් දැඩි ලෙස විශ්වාස කළා. එසේම බෞද්ධ හා හින්දු ආගම අතර ඇති සමීපතාව ජාතීන් අතර සංහිඳියාව වඩාත් ශක්තිමත් කරනු ඇතැයිද ඔහු සිතුවා.

ඊට විරුද්ධ මතයක සිටි උතුරු පළාත් ජනතා සංගමයේ නායක සභාපති මහතා ප්‍රාදේශීය මැතිවරණ සඳහා එකඟ කරවා ගැනීමට ගත්තේ එවක දේශපාලන නායකයන් ලෙස කටයුතු කළ ජේම්ස් පීරිස් හා ඊ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන්. කොළඹ සඳහා වැඩි දෙමළ නියෝජනයක් ලබාදීමට ඔවුන් මෙහිදී පොරොන්දු වී තිබුණා. එහිදී උතුරට ආසන තුනක්ද නැඟෙනහිරට ආසන දෙකක්ද කොළඹට එක් ආසනයක් බැගින්ද ලබාදීමට තීරණය වී තිබුණා.

කඳුරට වතුකරය සදහා දෙමළ ජනතා නියෝජනයක් අවශ්‍ය වුවත් දෙමළ කතා කරන මුස්ලිම් ජනතාවත් මෙරට ජීවත් වූ නිසා මුළු ආසන 55න් ශ්‍රී ලාංකික දෙමළ, ඉන්දීය දෙමළ හා දෙමළ කතා කරනු ලබන මුස්ලිම් ජනතාව දෙමළ කතා කරනු ලබන මැලේ ජනතාව වෙනුවෙන් නියෝජිතයන් පත් කරනවා වෙනුවට ප්‍රාදේශීය වශයෙන් නියෝජිතයන් පත් කරන්න සභාපති මහතා අවසානයේ එකඟ වුණා.

සිංහල නායකයන්ට යටි අරමුණක් තිබුණු බව අරුණාචලම් මහතා දැන සිටියේ නැහැ. නමුත් මේ පිළිබඳව පොන්නම්බලම් රාමනාදන් මහතා සිය සහෝදරයා වූ පොන්නම්බලම් අරුණාචලම් මහතා වෙත අනතුරු ඇඟවීමක් කර තිබුණා අපි කවුදෝ ඔවුන් කවුදෝ යැයි එවක සිංහල නායකයන් සිතන බවට.

සිංහල හා දෙමළ ජනතාවගේ කැමැත්ත මත බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වූවා. එම මැතිවරණයෙන් බහුතරයක් සිංහල නියෝජිතයන් තේරී පත් වුණා. ඒ අනුව දේශපාලන බලාධිකාරිය සමඟ පාලන බලය සිංහල නායකයන් සතු වුණා. දෙමළ ජනතාවට කොළඹ එක් ආසනයක් ලබාදන බව පැවැසුවත් මැතිවරණයේදී ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අරුණාචලම් මහතා රැවටුණා. සිංහල බලාධිකාරිය ආරම්භ වුණේ එදින සිටයි. ඔවුන් තම බලයෙන් සුළු කොටසක් හෝ බෙදා ගැනීමට එකඟ වුණේ නැහැ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවක් වෙනුවට පැවැතුණේ සිංහල කැබිනට් එකක්. එයට මුලපිරීම සිදු කළෙත් අපගේ එස්. සුන්දරලිංගම් මහතායි.
ඒ වගේම අදත් මහා සංඝයා වහන්සේලා හා බහුතරයක් සිංහල දේශපාලන නායකයන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි ප්‍රකාශ කිරීමට හේතුවක් තිබෙනවා. එනම් එදා 1919 වසරේදී තමන් ලබාගත් බලාධිකාරිය කිසිවිටෙකත් අත්නොහැරිය යුතුය යන ඒ හැඟීමයි.

බලය බෙදා හැරියහොත් මෙතෙක් කලක් තමන් සතුව තිබූ බලාධිකාරිය අහිමිවේය යන බිය ඔවුන් තුළ අදත් තිබෙනවා. එසේම දෙමළ ජනතාව නැවතත් අභිමානයෙන් නැඟී සිටිනු ඇත යන බිය ඔවුන් තුළ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here