පාර්ලිමේන්තුවට සෘජුව වග කියන ජනාධිපතිවරයකු රටට අවශ්‍යයි

0
290

එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරනු ලබන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ස්ථාවරය පිළිබඳව කරුණු දක්වන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වන්නේ ජනතාවට සහ පාර්ලිමේන්තුවට සෘජුව වග කියන ජනාධිපතිවරයකු රටට අවශ්‍ය බව යැයි අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ බදුල්ල නගරයේදී ඊයේ (24දා) පැවැති බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමේදීය.
බලය බෙදීම පිළිබඳව අපගේ විරුද්ධත්වයක් නැති බවත් බලය බෙදනවිට මේ පළාත් සභා නිසි ආකාරයෙන් හසුරුවා ගැනීම සඳහාත්, රටේ ඒකීයභාවය පවත්වා ගැනීම සඳහාත් ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකිවයුතු ජනාධිපතිවරයෙක් යටතේ පළාත් සභා බලතල මහ ආණ්ඩුවේ නීති රීති යටතේ පවත්වා ගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම තිබිය යුතුය. අනෙක් කරුණ නම් මේ පළාත් සභා අග්‍රාමාත්‍යවරයකුට හැසිරවීමට නොහැකියි. ඒ මන්ද පාර්ලිමේන්තුවේ තිබෙන බල තුලනය වෙනස් වන අවස්ථාවලදී බොහෝවිට එම බල තුලනය අනුව විවිධ අනිසි තීරණ ගන්න පුළුවන්. එමෙන්ම පක්ෂවලින් එන විවිධ බලපෑම් නිසා අනිසි තීරණ ගැනීමට අග්‍රාමාත්‍යවරයාට ක්‍රියා කිරීමට සිදු වෙනවා. මේ නිසා මුළු රටේම ජනතාවගේ ඡන්දවලින් පත්වුණ ජනාධිපතිවරයෙක් සිටින විටයි ජාතික සංහිඳියාවක් ඇති වන්නේ. ඒ අනුව සියලුම ජාතීන්ට එක සේ සැලකීමට විධායක ජනාධිපතිවරයාට හැකි වෙනවා. එමෙන්ම තමන්ගේ අභිමතාර්ථය අනුව සියලුම ජාතීන්ට, ජනාධිපතිවරයාට ඡන්දය ලබාදීමට හැකි වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයේ කොටස්කරුවන් වීමට සමස්ත ජනතාවටම හැකි වෙනවා. ඒ නිසයි විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි පවසන්නේ.

කොට්ඨාස ක්‍රමය අනුව පැවැත්වීමට නියමිත නව ඡන්ද ක්‍රමය ගෙන ඒමට යහපාලන ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබල සටනක් දියත් කළා. මේ ක්‍රමය ගෙන ඒම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රබල ලෙස විරුද්ධ වුණා. නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මැදිහත් වීම හේතුවෙන් මෙම ඡන්ද ක්‍රමය එළැඹෙන පළාත් පාලන ආයතන සඳහා ක්‍රියාත්මක කිරීමට අපිට හැකි වී තිබෙනවා.

දේශපාලනය සඳහා පිවිසෙන නවකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම මැතිවරණ ක්‍රමය තුළින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව තම කොට්ඨාසයට සුදුසුම නියෝජිතයා තෝරා ගැනීමට ජනතාවට හැකි වී තිබෙනවා. එමෙන්ම මෙම මැතිවරණ ක්‍රමය තුළ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා විශාල වශයෙන් මුදල් වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේම මනාපවලට සටන් කරන්නවත් මරාගන්නවත් ඕනේ නැහැ. තමන් විසින් තම කොට්ඨාසයට කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳව සහ ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීම පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තුළින් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට පුළුවන්.
පක්ෂයට දෙනු ලබන ඡන්දය තම අපේක්ෂකයාට දෙනු ලබන ඡන්දය වෙනවා. ඒ නිසා කිසි ලෙසකින් මනාප පොරයක් සිදු නොවී සාධාරණ සාමකාමී මැතිවරණ සංස්කෘතියක් ඇති කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here