ජන අනුමතියකින් තොරව නව ව්‍යවස්ථාවක් අපි ගේන්නේ නැහැ

0
418

රටේ ඒකීයභාවය සහ බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය ආරක්‍ෂා කරමින් බෞද්ධ නොවන සිංහල නොවන අනෙක් සෑම කොට්ඨාසයකටම බියක් සැකක් නොමැතිව තමන්ටද මේ රටේ කොටසක් අයිති යන හැඟීම ඇති කරමින් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බිහිකිරීම යහපාලන අණ්ඩුවේ අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගිය දින (20දා) මහනුවර වත්තේගම පිටියේගෙදර රජමහා විහාරස්ථානයේ විහාර මන්දිර කොත්වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.
අපේ රටේ යුද්ධය අවසන් වී තිබෙනවා. එසේ නම් දැන් රටට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවක් අප එකතුවී නිර්මාණය කරන්නේ කෙසේද, යන්න පිළිබඳ අප අවධානය යොමු කළ යුතුයි. අප ව්‍යවස්ථා සම්බන්ධයෙන් තවමත් සිටින්නේ සාකච්ඡා මට්ටමේ පමණයි. වසරකට ආසන්න කාලයක් සියලු පක්‍ෂ නියෝජනය වන ආකාරයට කමිටුවක් පත් කරමින් අප මේ පිළිබඳ සාකච්ඡා කළා. අවසානයේ අප මේ පිළිබඳ ලියැවිල්ලක් ඉදිරිපත් කළා. එහි ඇතැම් කාරණා වෙනුවෙන් අනු කමිටු පත් කිරීමටත් අප තීරණය කළා.
බලය බෙදා හැරීම එහි එක් කාරණයක්. දකුණේ මහ ඇමැතිවරු සහ මන්ත්‍රිවරු දැන් කුමන අදහසක් පළ කළත් එදා පැවැසුවේ තමන්ටද වැඩි වශයෙන් මුදල් සහ බලය අවශ්‍ය බවයි. මේ සියලු දේ සම්බන්ධ කරුණු සහිත වාර්තා අප ඉදිරිපත් කර තිබෙනවා. අනෙක් කරුණු වන රාජ්‍යයේ ස්වභාවය, මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති – අගමැති ක්‍රමය ආදී කාරණා ගණනාවක් පිළිබඳවද අප සාකච්ඡා කළා. මේ සියල්ල ඇතුළත් වාර්තාවට ඕනෑම පක්‍ෂයක අදහසක් හෝ යෝජනාවක් ඇතුළත් කළ හැකි ආකාරයට අප සකසා තිබෙනවා.

එම කමිටුව මෙහි සිටින අප තිදෙනාම නියෝජනය කරනවා. සියලුම පක්‍ෂ නියෝජිතයන් එම කමිටුවට ඇතුළත් වනවා. ඒ වගේම සියලුම දෙනාගේ අදහස් වෙනුවෙන් අප එම වාර්තාව නිර්මාණය කළා. දැන් ඉතිරිවී තිබෙන්නේ මේ සම්බන්ධයෙන් විවාදයක් ආරම්භ කිරීම පමණයි.

ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන මේ වාර්තාව දැන්ම සාකච්ඡා කරන්නේ ඇයි දැයි ඇතැමුන් මගෙන් විමසා සිටියා. නමුත් එය සාකච්ඡා කිරීමට මහජනතාවට ඉදිරිපත් කිරීමට පෙර එය පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ අදහස් අප දැනගත යුතුයි. ඔක්තෝබර් 30, 31 සහ 01 වැනිදා අප පාර්ලිමේන්තුවේ විවාදයක් පවත්වන්නේ එම නිසයි.

අප මේ වාර්තාව සකස් කොට භාර දුන්නේ ව්‍යවස්ථා දායක සභාවටයි. මේ සඳහා තවත් කාලය සහ අදහස් ලබා ගමු යැයි පක්‍ෂ නායකයන් යෝජනා කළා. එම දේශපාලන පක්‍ෂවල අදහස් සියල්ල එකතු කර ගැනීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් ලබාගත යුතුයි. එම වැඩකටයුතු අවසන් වීමෙන් පසුව මහ නායක ස්වාමින්වහන්සේ හා සංඝ කාරක සභා මුණගැසී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවශ්‍ය අදහස් හුවමාරු කර ගැනීමටත් අප සූදානම්.

‘ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවනු ඇති අතර, එය අත්හළ නොහැකි සහ නොබෙදිය යුතු වනු ඇත”. “ශ්‍රී ලංකාව නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් වනු ඇත”. “රටින් වෙන්ව යෑම වැළැක්වීමට විශේෂ විධිවිධාන ව්‍යවස්ථාවට ඇතුළත් කරනු ඇත”. “ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම උපරිම මට්ටමෙන් සිදු කරනු ඇත”. ආදී තවත් කාරණා මීට ඇතුළත් කර තිබෙනවා. “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රටේ උත්තරීතර නීතිය වනු ඇත”. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කළ හැක්කේ ජනමත විචාරණයකින්, පාර්ලිමේන්තුවට පමණක් යැයි ද මෙහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් වන සියලුම දෙනාගේ අදහස් මෙම විවාදයේදී හෙළි කළ යුතු වෙනවා.
පාර්ලිමේන්තුවේ මේ යෝජනාවට කිසිවකුත් විරුද්ධත්වයක් ප්‍රකාශ කරාවි යැයි මම බලාපොරොත්තු වන්නේ නැහැ.
අපට දැන් සාමයෙන් රැස්වීමට අවකාශය ලැබී තිබෙනවා. දැන් ඉතිරිව තිබෙන්නේ සාමයෙන් සාකච්ඡා කිරීමටයි. මුළු රටම එකඟ කර ගනිමින් සාමයෙන් එකඟ වීම අනෙක් කරුණයි. අප තවමත් එම තත්ත්වයට පැමිණ නැහැ. අපට දැනට සිදු කිරීමට තිබෙන්නේ මූලික කාරණා කිහිපය පමණයි. මේ පාර්ලිමේන්තුව තුළ කිසිදු දේශපාලන පක්‍ෂයකට තුනෙන් දෙකක බලයක් හිමිව නැහැ. එසේ නම් අපි එකට එක් විය යුතුයි. අනෙක් සියලුදෙනා ඒකීය රාජ්‍ය සංකල්පයට එකඟ වනවා නම් ඊට අවධානය කිරීමට තමන්ද සූදානම් බව දෙමළ සන්ධානයත් පවසා සිටිනවා.

මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඉතා සෙමෙන් කළ යුතු ක්‍රියාවක්. අප ඉදිරියට යා යුත්තේ ඒ අනුවයි.
එම නිසා අප උත්සාහ ගත යුත්තේ ව්‍යවස්ථාව සම්බන්ධ මෙම ගැටලුව විසදා ගැනීමටයි. මේ සඳහා රටේ එකඟත්වය අනුමැතිය නොමැතිව එය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා හෝ අගමැති වන මම හෝ ක්‍රියා නොකරන බව ඔබට කියන්න කැමැතියි. ඒ පිළිබද කිසිදු සැකයක් ඇති කර ගන්නට එපා. එහිදී ඔබ වහන්සේලා ගේ අදහස් ලබා ගැනීමටද අප කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here