“මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවේ කෑමද හිරගෙදර කෑමද වැඩිය හොඳ”

0
746

ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට මුහුණ දීමට සිදුවුණේ හම්බන්තොටදී මන්ත්‍රිවරු අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රශ්නයටයි. දිනේෂ් ගුණවර්ධන අඟහරුවාදා අසා තිබූ ප්‍රශ්නයකට සාගල රත්නායක නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමැති ඊයේ උත්තර දුන්නේය. උත්තරය ගැන එතරම් පැහැදීමක් නැති බව දිනේෂ් ගුණවර්ධන කරුණු පැහැදිලි කරගැනීමට ඇසූ ප්‍රශ්නවලින්ම පෙනුණි. කතානායකවරයා ඉලක්ක කරගෙන හෙතෙම ප්‍රශ්න කිහිපයක් ඇසුවේය.

“මන්ත්‍රිවරයකුට ඕනෑම මහජන උද්ඝෝෂණයකට යා හැකියි. මීට පෙර එහෙම අවස්ථාවලදී හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනවත් මන්ත්‍රින් අත්අඩංගුවට ගත්තෙ නැහැ.
ඔබතුමා කතානායක කාලෙදි තමයි නිරායුධව මේ මන්ත්‍රිවරු දෙදෙනා මහජනයා සමඟ හිටියා කියලා අත්අඩංගුවට ගත්තෙ.” දිනේෂ් පැවැසුවේය.

පැමිණිල්ල කරන ලද නිලධාරියා වරද පිළිගෙන මාරු කර ඇත්නම් සියලු දෙනා නිදහස් කළ යුතුයි. මට මේ ගැන පිළිතුරක් දෙන්න” දිනේෂ් කතානායකවරයාගෙන් ඉල්ලීය.
ඩලස් අලහප්පෙරුම හම්බන්තොට සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා ගැන කීවේය. “පොලිස් කොමිසමට කරන ලද පැමිණිල්ලෙන් පසු පොලිස් නිලධාරියා මාරු කළේ ඔහුගේ ගම් ප්‍රදේශයටයි. ඒ ගැන අවධානය යොමු කරන්න. නැත්නම් ගමට මාරුවක් ගන්න ඕනෑ වූ විට නිලධාරීන් කාගේ හෝ කන පළයි. ගමට මාරු ගැනීමේ අලුත් ක්‍රමය ගැන උපහාසයෙන් කතා කළේය.

කතානායකවරයාට පොලිස්පතිවරයා කරන ලද අභියෝගයක් ගැන බන්දුල ගුණවර්ධන පැවැසුවේය.
“ඕනෑම මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගන්නා බව පොලිස්පතිතුමා කියනවා. ලංකා ඉතිහාසයේ පළමුවරටයි පොලිස්පතිවරයෙක් මෙහෙම ප්‍රකාශයක් කළේ. ඔබතුමා තමයි ඒ අභියෝගය කර තිබුණේ. අහිංසක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගත්තා. මාධ්‍යවේදියා ගලක්වත් ගහපු කෙනෙක් නොවේ. ඔහු ගත්තේ වීඩියෝ කරමින් සිටින විටයි.”
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල නැඟී සිටියේය. “මේකෙ නියම තත්ත්වය කොහොම හරි නාමල් රාජපක්ෂ එළියෙ. රණවීර ඇතුළෙ අයියෝ”
ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයා තංගල්ල බන්ධනාගාරයේ සිට ඊයේ සභාවට පැමිණියේ බන්ධනාගාර බසයෙනි.

ප්‍රසන්න රණවීර දිවා ආහාරයට මන්ත්‍රි භෝජනාගාරයට ගමන් කළේ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේද සමඟිනි. පොලිස් නිලධාරියකු පසුපසින්ම විය. “බයවෙන්න එපා මං පැනලා යන්නෙ නැහැ” යි ප්‍රසන්න පොලිස් නිලධාරියාට කීවේය. දිවා ආහාරයෙන් පසු ප්‍රසන්න ආපසු එනවිට පොලිස් රැකවරණය ලැබුවේය. එහෙත් ඔහු දන්නා හඳුනන මාධ්‍යවේදීන් සමඟ කතා බහට අමතක කළේ නැත.
“මන්ත්‍රිතුමා පාර්ලිමේන්තුවේ කෑමද හිරගෙදර කෑමද වැඩිය හොඳ” ඒ ප්‍රශ්නයට වචනයෙන් උත්තර නොදුන් ඔහු හඬ නඟා සිනාසුණේය. “කෑම ටික කාල්ටන් එකෙන් එවනවා” ඔහු හෙමිහිට කීවේය.

“තංගල්ල බන්ධනාගාරයේ වතුරෙන් තමයි ලොකුම ප්‍රශ්නෙ. අනේ මන්දා අහිංසක මිනිස්සු කොහොම ඉන්නවද කියලා. මම දේශපාලනය කරලා රිමාන්ඩ් වුණේ. සිය ගාණක් ඉන්නවා සුළු වැරැදිවලට ඇප නැතුව. මකුණෝ කකා කොහොම ඉන්නවාද මන්දා”
ප්‍රසන්න කතා කරමින් සිටින විට භෝජනාගාරයේ සිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් පිරිවරාගෙන ඉදිරියට ආවේය.
ඒ යන විට ආලින්දයේ පසෙක හිටපු ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයකු වූ යූ.ඇල්.එම්. ෆාරුක් සිටින බව දුටු මහින්ද නැවතුණේය. ෆාරුක දෑත් එක්කොට මහින්දට ආචාර කළේය. ඔහුගේ කරට අත තබා ගත් මහින්ද ආගිය තොරතුරු විමසුවේය.

අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාට පාර්ලිමේන්තු ආලින්දයකදී නිමල් ලන්සා නියෝජ්‍ය ඇමැතිවරයා මුණ ගැසුණේය. “ඇමැතිතුමා දන්නවාද අද උදේ හොට් හොට් නිවුස් එක. මීඩියා කට්ටිය අද එයාපෝට් එක වට කරලා” නිමල් ලන්සා කීවේය. “ඇයි මොකටද?” අනුර යාපා ඇසුවේ විමතියෙනි.
“ගෝඨා එනකොට අත්අඩංගුවට ගන්නවා කියලා ආරංචියක් ගිහිල්ලා… මීඩියා ඇවිත් තියෙන්නේ ඒකයි. හැබැයි අත්අඩංගුවට අරන් නැහැ”
“මම නම් ඒ ගැන දන්නෙ නැහැ. එහෙම කෙනෙක් අත්අඩංගුවට ගන්නත් බැහැ”

අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කළා නම් ඒ අධිකරණ බලප්‍රදේශයේ පමණයි. වලංගු එයාපෝට් එකේදී විතරක් නොවේ ඕනෑම තැනකදී අත්අඩංගුවට ගන්න නම් විවෘත වරෙන්තුවක් තියෙන්න ඕනෑ” යි අනුර යාපා නීතිය ගෙනහැර දැක්වූයේ පළපුරුදු නීතිඥයෙක්ද වන බැවිනි.

ජීවන වියදම අඩු කරන්න බැරිනම් ජීවන වියදම් කමිටුවකින් වැඩක් නැති බව අනුර යාපා ඇමැතිවරයාගේ ප්‍රකාශයක් ගැනත් නිමල් ලන්සා විමසුවේය.
“ඇත්තනෙ! ජීවන වියදම අඩු කරන්න නියම පියවර ගන්න ඕනා. පොල් මිල වැඩිවෙලා තියෙන්නෙ හේතු කිහිපයක් නිසයි. වැස්ස අඩුවුණා පොල්ගසේ වැඩි පලදාව ගන්න ගසට සාත්තුව අවශ්‍යයි. ඒක අඩුවුණා. පොල් ගෙඩි මිලියන 90ක් ජනතාවගෙ පරිභෝජනයට ඕනෑ. පොල් නැවත වගාව අඩු වුණා. අනුර යාපා කීවේ පොල් කර්මාන්ත හිටපු ඇමැතිවරයකු මෙන්ම පළපුරුදු පොල් වගාකරුවකුද වන බැවිනි. “ජීවන වියදම් කමිටුව මීට වඩා ක්‍රියාකාරී වෙන්න ඕනෑ බව මම හැමදාම කියනවා.” අනුර යාපා කියන විට බන්දුල ගුණවර්ධන එතැනට පැමිණියේ අනුර යාපා සූරීන් කියමිනි.

ජීවන වියදම මෙන්ම පළාත් සභා හා පළාත් පාලන ඡන්ද ගැනත් බන්දුල කීවේය. “ලොතරැයි මණ්ඩලයෙන් හොරට ස්වීප් ටිකට් ගැහුවා කියලා මට නඩු දැම්මානෙ. රවි තමයි මිනිහා පින්තුර ගහලා අදහන්න වටිනවා. කොහොම හරි අපට දවස ගානෙ ඇදගෙන යන්න දෙයක් ලැබෙනවා” බන්දුල ගුණවර්ධන පැවැසුවේ විපක්ෂයට ආණ්ඩු පක්ෂයේ කතාබහට උද්ගෝෂණයට දෛනිකව මාතෘකා ලබා දෙන බවයි.

මහනුවර අධිවේගී මාර්ගය ගැන සභාව කල් තබන අවස්ථාවේ විවාදයට යෝජනාව ගෙනාවේ අනුර කුමාර දිසනායකයි. ඒ යෝජනාවෙහි ඉලක්කයද ලක්ෂ්මන් කිරිඇල්ලයි. මක්නිසාද යත් ඔහු මහාමාර්ග ඇමැතිවරයාද වන හෙයිනි.

සයිටම් ගැනත් තද ප්‍රකාශයක් කළ රංජිත් සොයිසා මහනුවර අධිවේගී මාර්ග විවාදයට එක්වෙමින් ඇමැති කිරිඇල්ලගෙන් බරපතළ ප්‍රශ්නයක් ඇසුවේය. මහාමාර්ග අමාත්‍යාංශයේ ඉන්න සියයට 5ක් කොමිස් ගහන කිරිඇල්ල කවුද, මෙහෙම කොමිස් ගහලා ඇවිත් යහපාලනය ගැන කතා කරනවා.
රංජිත් සොයිසාගේ වාග් ප්‍රහාරයෙන් පසු හෙක්ටර් අප්පුහාමි ආණ්ඩුවෙන් ප්‍රතිප්‍රහාර දුන්නේය. ඔහු කතා කරනවිට ඒකාබද්ධයෙන් ‘අර්ජුන් ඇලෝසියස්’ යැයි කියනු ඇසිණි. ඒ ඇසූ හෙක්ටර් අප්පුහාමි දණ්ඩෙන් පහරලත් නයකු සේ කිපුණේය.

‘ඇලෝසියස් නොවේ එයාගෙ තාත්තා ඇලෝසියස් එක්ක ගිහින් නිදාගන්නවා තමුසෙ. තමුසෙ බීගෙන ඇවිත්… කට වහගෙන වාඩිවෙනවා. තමුන්නාන්සේලා තමයි හොරකම් දූෂණ කර රට ඉවර කළේ” යැයි කියාගෙන යන විට විපකෂයේ හඬ නැවතිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here