බලයට කෑදර පිරිසක් පොහොට්ටුවට එකතුවෙලා

0
335

එදා හිටපු පාලකයන් ඒකීයභාවය යැයි කිය කියා යුද ජයග්‍රහණයේ නාමයෙන් පොදු ජනතාවගේ සාක්කු පුරවනවා වෙනුවට සිදුකළේ පාලකයන්ගේ සාක්කු පුරවා ගැනීම සහ තම දරු පරපුරට රටේ අයිතිය සින්නක්කරව ලියාදීම බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රටේ ඒකීය භාවය සැබෑවටම තහවුරු කරන්නේ යහපාලන ආණ්ඩුව බව පවසන ප්‍රේමදාස මහතා අද යහපාලන ආණ්ඩුවේ පාලනය යටතේ රට තුළ සංහිඳියාව, ජාතීන් අතර එකමුතු බව හා සහෝදරත්වය ඇතිවී තිබෙන බවත් ඒකීයභාවය පෙන්වමින් ජනතාවගේ මුදල් ගසා කෑ යුගය මෙන්ම භාණ්ඩාගාරයේ අරමුදල් කොල්ලකෑ යුගය 2015 වසරෙන් අවසන් කළ බවත් එදා පාලකයෝ සෑම දෙයින්ම 30%ක කොමිස් මුදල් ලබාගත් බවත් කීවේය.

ඇමැතිවරයා එසේ කීවේ නාත්තණ්ඩිය මාහිංගල ඉදිවූ අශෝකපුර උදාගම්මානය ජනතා අයිතිය පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.
රාජ්‍ය බලය නැවත ලබාගැනීමට මාන බලමින් සිටින කෑදර ප්‍රතිවාදීන් පිරිසක් “පොහොට්ටුවක්” තියාගෙන යහපාලන රජය ඒකීයභාවය කෙලෙසමින් රට තුට්ටු දෙකට විකුණනවායි මන්තරයක් ජපකරමින් සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
ඇමැතිවරයා එහිදි මෙස්ද කීය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව යහපාලන රජය ආරම්භ කළ “යළි පිබිදුණු උදා ගම්මාන” වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 43 වැනි ගම්මානය “අශෝකපුර” උදා ගම්මානයයි.

මේ වනවිට දිවයින පුරා උදා ගම්මාන 470ක කටයුතු ආරම්භ වී තිබෙනවා. අපගේ ඉලක්කය මේ වසර අවසන් වනවිට එම සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමයි. යහපාලන රජයේ නිල කාලය තුළ එනම් ඉදිරි වසර 3 තුළ රට පුරා තවත් උදා ගම්මාන 2,000ක් ඉදිකිරීමට අප සැලසුම් කොට තිබෙනවා. මීළඟ ජනාධිපතිවරණයට හෝ මහ මැතිවරණයට අප ඉදිරිපත් වන්නේ රටේ උදා ගම්මාන 2,500ක් ඉදිකර බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

මෙම ගම්මානය පිහිටි මෙම ප්‍රදේශයට නායකත්වය ලබා දුන් හැරල්ඩ් හේරත් මහතා අප ඉතාම ආදරයෙන් මේ මොහොතේදී සිහිපත් කරනවා. ඔහු 77 පෙරළිය සමඟ මෙම දිස්ත්‍රික්කයෙන් බිහිවූ දක්ෂ මන්ත්‍රිවරයෙක් ලෙස එදා කටයුතු කළා. 78දී උදා ගම්මාන වැඩසටහන ආරම්භ කර එහි 45 වැනි පියවර ලෙස නාත්තණ්ඩිය පුරවරයේ රාජ කෝට්ටම් නම් පොල් වත්තෙන් අක්කර 106ක් ලබා ගෙන පවුලකට අක්කරය බැගින් වෙන්කොට නිවාස 106කින් සමන්විත වූ “සාගරගම” ගම්මානය එදා හැරල්ඩ් හේරත් මහතා මාගේ පියා සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙහි ජනතාවට දායාද කළා.

මේ මඟින් නිවාස නොමැතිව අන්ත අසරණව සිටින පවුල් 98කට ඉඩමක් සහ නිවෙසක් හිමිවෙනවා. මෙම ගම්මානයට පැමිණෙන විට මේ අසලම තවත් තාවකාලික නිවාස කිහිපයක් ඉදිවී ඇති ආකාරය අපට දැකගත හැකියි. මෙම ඉඩම් පිළිබඳවත් අශෝක මන්ත්‍රිතුමා තවත් අවස්ථාවකදී ප්‍රගති සමාලෝචන වැඩසටහනේදී මා දැනුවත් කළා. මෙම ඉඩම්වලට කරන්නේ කුමක්දැයි ඔහු මගෙන් විමසුවා. එම ඉඩම් ටිකත් නැති බැරි අයට බෙදා දෙන්නැයි මා ඔහුට එහිදී උපදෙස් ලබා දුන්නා.

“අශෝක පුර” දෙවැනි පියවර ලෙස මා එය නම් කරනවා. අප මේ ආණ්ඩුව පත්කර ගත්තේ නැති බැරි මිනිසාට උදවු උපකාර කිරීමටයි. එය ඉටු කිරීමේදී අපේ අගමැතිතුමාගේ ආශීර්වාදය නිරතුරුවම අපට තිබෙනවා. එනිසා මෙම අසරණ ජනතාවටත් හිසට සෙවණක් ලබාදීමට අප කටයුතු කරනවා. මෙම ප්‍රදේශයේ තවත් ඉඩම් තිබෙනවා නම් තව තවත් උදා ගම්මාන ඉදිරියේදී මෙහි ඉදි කිරීමට අපට හැකි බව මා සතුටින් ප්‍රකාශ කර සිටිනවා. ඒ සඳහා අශෝක ප්‍රියන්ත තරුණ මන්ත්‍රිතුමාගේ සහයෝගයත් මා අපේක්ෂා කරනවා.
යහපාලනය අනුව ජනතා අරමුදල් කිසි ලෙසකින්වත් කොල්ල කන්නේ නැහැ. අපගේ පාලකයන් කිසිවිටෙක තමන්ගේ සාක්කු පුරවා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. අප කටයුතු කරන්නේ මෙරට නිවාස ගැටලුවෙන් පීඩා විඳින ලක්ෂ 25ක පමණ ජනතාවට පිහිට වෙමින් ඔවුන්ගේ සාක්කු පිරවීමටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අප ක්‍රියාත්මක කරන්නේ පිරිසුදු රාජ්‍ය පාලනයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here