කොන්ද කෙළින් තියාගෙන ඔබේ මතය මේ සතියේ රටට කියන්න

0
777

ස්වාධීන මැතිවරණ කොමිසමක් ඇත්නම් කොන්ද කෙළින් තබාගෙන තම මතය රටට ප්‍රකාශ කරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයාට කියා සිටින බවත් ආණ්ඩුව පවසන ආකාරයට වැඩ කළහොත් මැතිවරණ කොමසාරිස්වරයාට රටේ තිබෙන ගෞරවය නැතිවී යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ආණ්ඩුව ලැහැස්ති වන්නේ 2020 වසර දක්වා මැතිවරණ කල්දැමීමට බවද ඊයේ (19දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසීය.

මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
මේ ආණ්ඩුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා තියෙන බවයි අගමැති හා ජනාධිපති පුන පුනා ප්‍රකාශ කරන්නේ. ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළ දමන්නයි සූදානම් වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සුක්ෂිත කරනවා කියපු ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය පෙට්ටියකට දාලා ඇණ ගහලා වළ දාන්නයි සූදානම. පසුගිය සතියේ පළාත් පාලන ඇමැති කියනවා අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණයේ ගැසට් එක ඉදිරිපත් කරන බව. මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් එළියට ඇවිත් කිව්වා මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව. අද වෙනකොට මනෝ ගනේෂන් මහතා අධිකරණයට යන්න හදනවා පළාත් පාලන මැතිවරණයේදී එතුමාගේ අඹගමුව ප්‍රදේශයේදී මායිම් නිර්ණය කිරීමක් සම්බන්ධව.
ජනවාරි මාසේ තියෙනවා කියපු මැතිවරණය මේ නිසා තියන්න බැරිවෙනවා. ඊට පස්සේ කාන්තා නියෝජනය වෙනුවෙන් තවත් නඩුවක් දාලා ඒ නඩුව අවසන් වෙනකොට තරුණ නියෝජනය සම්බන්ධයෙන් නඩුවක් දාන්න හදනවා. මැතිවරණයට දින නියම කරලා කොමසාරිස් ප්‍රකාශ කරලා මැතිවරණ කොමිසම මැතිවරණයට සූදානම් වෙද්දී මේ වෙනුවෙන් නඩු තුනක් දාන්න සැලසුම් හදලා ඉවරයි. මේ රට ගෙනියන්නේ කොහාටද..? ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියයි මේ උල්ලංඝනය කරන්න සූදානම් වෙන්නේ. ආණ්ඩුව මේ ලකලැහැස්ති වෙන්නේ 2020 වනතුරු මැතිවරණ නොතියා සිටින්න.
අපි මැතිවරණ කොමසාරිස්වරයාට ඉතාම ගෞරවයෙන් කියනවා මේක ස්වාධීන මැතිවරණ කොමිසමක් නම් කොන්ද කෙළින් තියාගෙන ඔබේ මතය මේ සතියේ රටට කිව යුතුයි. ආණ්ඩුව කියන කියන විදියට වැඩ කළොත් ඔබට රටේ ජනතාව තුළ තියෙන ගෞරවය නැති වෙයි.
ජනවාරි මාසේ වෙද්දී මැතිවරණය නොතිබ්බොත් දස දහස් ගණනින් ජනතාව අමාත්‍යාංශය ඉදිරිපිට නතර වන වන බව කිව යුතුයි.

ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
අනිකා විජේසූරියගේ සාක්ෂි නිසා රවි කරුණානායක කළ මහා මංකොල්ලය රටට හා ලෝකයට හෙළිවුණා. දැන් අනිකා විජේසූරිය මැතිනියට මේ රටේ ඉන්නවත් බැරි තත්ත්වයක් ඇතිවෙලා. කිසිම බියක් නැතිව රවි කරුණානායකගේ ඥාතියෙක් එතුමියට මරණ තර්ජන එල්ල කරලා යැයි කොමිසමට පැමිණිලි කර තිබෙනවා. මේ දැවැන්ත ප්‍රෝඩාව පිළිබඳ හෙළිදරව් කරන පුද්ගලයන්ටවත් අද මේ රටේ ඉන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ඒක තමයි අද තියෙන ඇත්ත තත්ත්වය.
හාල්මැස්සන් විවේචනය කරන්න පුළුවන්. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැති වුණත් තෝරු මෝරු විවේචනය කරන්න බැහැ. ඒ අයගේ හොරකම් ගැන සත්‍ය තොරතුරු අනාවරණය කරන්න බැහැ. එහෙම කළොත් මරණීය තර්ජන.

මහ බැංකුවේ මහ දවල් වුණු මංකොල්ලය ගැන කොමිෂන් සභාවේ වාර්තාවෙන් සත්‍ය හෙළිදරව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතර කොමිසම සාක්ෂි ලබා ගැනීම අවසන් කරලා. නමුත් කොමිෂන් සභාව ප්‍රකාශයක් කරලා තියෙනවා අගමැතිවරයාගෙන් අවශ්‍ය වුණොත් සාක්ෂි ලබාගන්න බව. නමුත් මේ සාක්ෂි ලබාගැනීම සිද්ධ වෙන්නේ දිවුරුම් ප්‍රකාශ මඟින්. අගමැතිගෙන් හරස් ප්‍රශ්න අසන්න අවස්ථාව අහිමි වෙනවා. කලින් පිළියෙල කර යවන ප්‍රශ්නවලට පිළිතුරු දීමක් සිද්ධ වෙන්නේ. එතුමාට පිළිතුරු දෙන්න ඕන තරම් කාලයක් ගන්න පුළුවන්. දිවුරුම් ප්‍රකාශයේ අඩංගු දේවල් ඇත්තද බොරුද කියලා හරස් ප්‍රශ්න අහන්න බැහැ.

රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙන්නෙක් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් සාක්ෂි දෙන්න ආවා. ඒ අයගෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයෙක් කිසිදු හරස් ප්‍රශ්නයක් ඇහැව්වේ නැහැ. සම්පූර්ණයෙන් නිශ්ශබ්දව හිටියා. ඊට කලින් ආපු සාක්ෂිකරුවන්ගෙන් ඉතාම එඩිතරව හරස් ප්‍රශ්න ඇහුවා. මේ නිසා තමයි සත්‍ය අනාවරණය වුණේ. මහින්ද අමරවීර ඇමැතිතුමා පුරසාරම් ‍දොඩවනවා මේ සම්බන්ධයෙන් පළමු පැමිණිල්ල කළේ කියලා. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු එතුමා අනාවරණය කරන බව එතුමා කිව්වත් දැන් සිද්ධ වෙන්නේ ඉරක් ගසා සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ගැනීම වෙන් කරනවා. හරස් ප්‍රශ්න ඇසීම ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන් හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ළඟින් නවතිනවා. එතැනින් එහාට යන්න බැහැ. එතැනින් පස්සේ සම්පූර්ණ ආවරණයක් දෙනවා. එවන් තත්ත්වයක් තුළ මෙහි තීන්දු තීරණ ගැන විශ්වාසයක් තබා ගන්න බැහැ. ඒක කොමිෂන් සභාවේ වරදක් නෙවෙයි. සාක්ෂි ලැබෙන්නේ නැත්තම් සාක්ෂිවලින් තුනෙන් එකයි නම් ලැබෙන්නේ අවසානයේ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් වෙයි කියලා විශ්වාසය තියාගන්න ආමාරුයි.

දෙවැනි බැඳුම්කර ප්‍රෝඩාව කරන්න අවස්ථාව හිමිවෙන්නේ ජනාධිපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟයි. ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්තම් ඩියූ. ගුණසේකර මහතාගේ කෝප් වාර්තාව එළි දකිනවා. ඒ වාර්තාව එළි දැක්කා නම් දෙවැනි වංචාව කරන්න කොහෙත්ම පසුබිම සකස් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා දෙවැනි වංචාව කරන්න ප්‍රවේශය ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. රජයේ නීතිඥයන්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්තුමා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා කොමිෂන් සභාව අහන ප්‍රශ්නවලට අමතරව රජයේ නීතිඥවරුන්ටත් අහන්න ප්‍රශ්න තියෙන බව. ඒ ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඒක වංචාවක්.

අගමැතිතුමා රටට හා ලෝකයට ප්‍රකාශ කරනවා මට හංගන්න දෙයක් නැහැ. මම කැමැත්තෙන්ම කොමිෂන් සභාව ඉදිරියට එනවා කියලා. එතුමා ඇයි සූදානම් වුණේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සම්පූර්ණ වගකීම භාර ගැනීමට. ඔහු මේ රටේ පුරවැසියෙක් නෙවේ. මේක ඒකාබද්ධ විපක්ෂය ඒ දිනවල පැහැදිලිව ප්‍රකාශ කළා. අගමැති පාර්ලිමේන්තු සභා ගර්භය තුළ එක හඩින් ප්‍රකාශ කළා අර්ජුන මහේන්ද්‍රන් ගන්න ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් එතුමා පෞද්ගලිකව වග කියන බව. රජය ඇතුළෙත් මේ පත්කිරීමට විවේචන තිබුණා. අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම සඳහා මුල ඉඳන් අගට කරන්න පුළුවන් හැමදේම අගමැති කළා. සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කෝප් කමිටුව ක්‍රියාත්මක වන අවස්ථාවේ ෆුට් නෝට් කල්ලියට උපදෙස් දුන්නේ මේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කළ හැකි සියලු දේ කරන්න කියලා. අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලය අවසන් වීමෙන් පසුව දෙවැනි වතාවටත් පත්කරන්න සෑහෙන උත්සාහයක නිරත වුණා. මේවා කළේ ඇයි කියන කාරණාවලට උත්තර දෙන්න අවශ්‍යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here